කොරෝනා නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන්
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ, විකෘතිකරණයට ලක්වුණු නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයේ වැසියන් අතරේ පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති.
මේ වනවිට එංගලන්තයේ ලන්ඩන් අගනුවරින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින්නේ ද මෙම නව වයිරස ප්‍රභේදයේ බලපෑම නිසා බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. මෙම නව ප්‍රභේදය සම්බන්ධයෙන්, සෞඛ්‍යය ලේකම් (ඇමැති) මැට් හැන්කොක්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ද දැනුවත් කළ බව එරට පුවත් සේවා ඊයේ (16) වාර්තා කළේය. නව වයිරස ප්‍රභේදය ආසාදනය වී හමුවුණු ආසාදිතයන් ගණන 60 ක් බව ද පැවැසෙයි.
මේ වනවිට බ්‍රිතාන්‍ය වැසියන්ට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ජර්මනියේ බයෝඇන්ටෙක්’ සමාගම සමඟ එක් වී නිපදව ඇති ‘කොවිඩ් 19’ ආසාදනය වීම වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ආරම්භ කර ඇත.
කෙසේ නමුත්, මෙම විකෘතිකරණයට ලක්වුණු මෙම නව වයිරස ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට ‘ෆයිසර්’ එන්නතට හැකිවේවිද යන්න සැක සහිත බව සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. ‘ෆයිසර්’ එන්නත නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසයේ පළමු වයිරස ප්‍රභේදය අනුවය. එන්නතේදී සිදු කරන්නේ වයිරසයේ ජාන කොටසක් සිරුරට විදීමය. සිරුර තුළ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ ඉන්පසුවය.
වයිරසය ජානමය වශයෙන් වෙනස් වී විකෘති වන්නේ නම්, ප්‍රතිශක්තිකරණ එන්නතෙන් පලක් නොවනු ඇතැයි වෛද්‍ය විශේෂඥයන් පැහැදිලි කරන්නේ එහෙයිනි. බැක්ටීරියා ආසාදනවලට මෙන් නොව, වයිරස සඳහා එන්නත් නිපදවීම අසීරු වී ඇත්තේ මේ නිසාය. වයිරසයක් එක් ආසාදිතයකුගෙන් තවත් ආසාදිතයකුට පැතිරෙන්නේ එය විකෘතිකරණයට ලක් වෙමිනි. ‘ෆයිසර්’ එන්නත පමණක් නොව, සෙසු එන්නත් ද නිපදවා ඇත්තේ වයිරසයේ පළමු ජාන ව්‍යුහය පාදක කර ගනිමිනි.
එක්සත් රාජධානිය ලෙස සැලකෙන්නේ එංගලන්තය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ වේල්සයයි. එක්සත් රාජධානියෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1,888,116 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 64,908 ක් ලෙසය.
ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)