වියට්නාමය කොරෝනා අඩපණ කළ හැටි



මිලියන 95 ක ජනහනයක් වෙහෙසන වියට්නාමය සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රාජ්‍යයකි. අග්නිදිග ආසියාවට අයත් වියට්නාමය බෞද්ධ රාජ්‍යයකි. ගොඩබිමින් පමණක් නොව මුහුදින් ද වියට්නාමය රටවල් රැසකට මායිම්වෙයි. මුහුදින් (දකුණු චීන මුහුදින්) එය මායිම් වන්නේ තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවය. ගොඩයිමින් මායිම්වන්නේ ලාඕසය, කාම්බෝජය සහ චීනයටය. චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වියට්නාමයට ද පැතිර ගොස් ඇත. වියට්නාමයේ පළමු වරට වයිරස ආසාදිතයන් හමුවූයේ පසුගිය ජනවාරියේය.

එදා සිට පසුගිය අප්‍රේල් 28 වැනිදා දක්වා වියට්නාමයෙන් හමුවුණු ආසාදිතයන් ගණන 270 කි. මරණ කිසිවක් වාර්තා වූයේ නැත. වියට්නාම රජයේ නිවැරදි තීන්දු තීරණ, ‘කොවිඞ් 19’ හෙවත් නව වයිරසය එරට සමාජයේ පැතිර යෑම වැළැක්වීමට හේතුවක් වී ඇති බව පැහැදිලිය. තහංචි පනවමින්, දළදඬු ක්‍රියාමාර්ග අනුගමනය කළ ද වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට හැකි වූයේ වියට්නාම් වැසියන්ගේ විනයගරුකභාවය සහ ඔවුන්ගේ හැදියාව නිසාය.

‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චිනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ආසියාවේ විශාලතම වයිරස බැංකුව පිහිටා ඇත්තේ ද වූහාන් නුවරය. වයිරසය වූහාන් නුවර වැසියන් අතරේ වේගයෙන් ව්‍යාප්ත වූයේ දෙසැම්බර් මාසයේ සිටය. චීන රජය, ලෝක සෞඛ්‍ය සංවිධානයට වයිරසය පිළිබඳ දැනුම් දී, ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරසය ගැන ලොවට අනතුරු ඇඟවූයේ ජනවාරියේය. ඒ වනවිටත් වයිරසය චීනයේ සෙසු පළාත්වලට පමණක් නොව අසල්වැසි රටවලට පැතිර ගොස් තිබුණි.

වියට්නාමයෙන් පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයා හමුවූයේ ජනවාරි මස අවසන් සතියේය. ඒ සමඟ වියට්නාම් රජය වහා ක්‍රියාත්මක විය. පළමුවෙන්ම ඔවුන් කළේ චීනය සමඟ දේශසීමාව වසා දැමීමය. වියට්නාමයේ ප්‍රධාන ගුවන්තොටුපොළ හරහා ඇතුළු වන සියලු දෙනාගේ උෂ්ණත්ව පරීක්ෂාවක් සිදු කරන්න විය. අසනීප තත්ත්වයක් ඇතැයි සැක කළ සියලු දෙනා දින 14 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි. ඒ වනවිට, නිරෝධායන මධ්‍යස්ථාන ලෙස සංචාරක හෝටල් භාවිතයට ගැනීමට රජය පියවර ගෙන තිබුණි. ඒ මුදල් ගෙවීමක් කරමිනි. වියට්නාමය සංචාරක ආකර්ෂණයක් දිනූ ආසියානු රාජ්‍යයකි. මාර්තු මස අවසන් වෙද්දී, විදෙස් සංචාරකයන්ට වියට්නාමයට ඇතුවීම තහනම් කෙරුණි. වියට්නාම සම්භවයක් ඇති විදේශිකයන්ට පමණක් නොව දීර්ග කාලීය සංචාරක වීසා හිමි විදේශිකයන්ට පවා වියට්නාමය තහනම් විය.

‘කොවිඞ් 19’ යැයි සැක කළ වියට්නාම් වැසියන් නිරෝධායනයට යොමු කෙරුණි. ආසාදිතයන් හමුවෙද්දී, ඔවුන්ගේ පසුබිම් විස්තර අනුව යමින්, ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් ද නිරෝධායනය කෙරුණි. සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රාජ්‍යයක් බැවින්, වියට්නාමයට ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇති ද නැති ද යන්න සෙවීමට ජනතාව පරීක්ෂණවලට යොමු කළ නොහැකි විය. දකුණු කොරියාව පරීක්ෂණ 3,38,000 ක් කරද්දී, ඊට සමානව වියට්නාමයට කරන්න හැකිවූයේ පරීක්ෂණ 15,637 ක් පමණක් විය. අඩු පිරිවැයකින් ‘කොවිඞ් 19’ පරීක්ෂණ කට්ටල නිපදවා ගැනීමට වියට්නාමය උනන්දු විය. පිටිසර පළාත්වල ගොවීහු පවා මීටරය ආරක්ෂා කර ගනිමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට යුහුසුළු වූහ.

වියට්නාමයේ පවතින්නේ තනි පක්ෂ (කොමියුනිස්ට් පක්ෂ) දේශපාලනයකි. ‘වයිරසයට එරෙහි සටන යුද්ධයක් සේ සලකා ඊට මුහුණ දෙන්න’ යැයි වියට්නාම අග්‍රාමාත්‍ය ගුයෙන් සූ උන් ෆුක් ජනතාව දැනුවත් කළේය. ඒ සඳහා වීඩියෝ පණිවුඩ පමණක් නොවෙයි, වියට්නාම් යුද සමයේ (මෙය ඇමෙරිකන් යුද්ධය යනුවෙන් ද හැඳින්වෙයි. ඇමෙරිකාව, වියට්නාමය, පාඕසය සහ කාම්බෝජය මීට මැදිවිය. 1955 වසරේ සිට 1975 තෙක් යුද්ධය පැවැතිණි.) භාවිත කළ ආකාරයේ වීරත්වය පෙන්වන පෝස්ටර් පවා භාවිතයට ගැණින.

අග්‍රාමාත්‍ය ගුයෙන් සූ උන් ෆුක් කළ ඉල්ලීමට වියට්නාම වැසියෝ කන් දුන්හ. ඔවුන් මේ වනවිටත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට සැමවිටම කටයුතු කරයි. ‘වියට්නාමයේ පවතින්නේ තනි පක්ෂ දේශපාලනයක්. විශාතලම මහජන ආරක්ෂක හමුදාවක් ඔවුන්ට සිටිනවා. ස්වභාවික ව්‍යසනවලට ප්‍රතිචාර දැක්වීමට ශක්තිමත් ආණ්ඩුවක් වියට්නාමය සතුයි. ජනතාව දිළිඳුයි. නූගත් වෙන්න පුළුවන්. ඒත් ඔවුන් විනයගරුකයි. සෞඛ්‍ය බලධාරීන්ට කන් දුන්නා. අගමැතිවරයාට කන් දුන්නා. නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළා. පිරිසුදුව ඉන්න පෙළෙඹුණා. වයිරසය පාලනය වීමට ප්‍රධාන හේතුව එයයි’ යැයි කැන්බරා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කාල් තියේර් පෙන්වා දී තිබේ.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS