වසංගතය මැද මහ මැතිවරණයක්



කොරෝනා මැද දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය අද උදෑසන (15) ආරම්භ විය. දකුණු කොරියාව පැවැත්වූ ආකාරයේ මැතිවරණයක් ඉතිහාසයේ මීට පෙර, දකුණු කොරියාවේ පමණක් නොව, ලොව වෙනත් කිසිදු රටක පවත්වා නැත.

මැතිවරණ බලධාරීන් සමඟ හිසේ සිට දෙපතුළ තෙක් ආරක්ෂිත ඇඳුම්වලින් වසා ගත් තවත් පිරිසක් ඡන්ද පොළ වෙත පැමිණ සිටියහ. ඒ, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ය. දකුණු කොරියාව, එරට ඉතිහාසයේ කිසිදු දිනෙක මැතිවරණය කල් දමා හෝ නවත්වා හෝ නැත. එය එරට සම්ප්‍රදායයි. 1952 කොරියන් යුද සමයේ පවා මැතිවරණ පැවැත්විය. 1952 වසරේ පැවැත්වූයේ ජනාධිපතිවරණයයි. ‘කොවිඞ් 19’ වයිරසය වසංගතය ද ඔවුන් බාධාවක් කර නොගත්තේය.

මෙවර දකුණු කොරියානු වැසියන්ට ‘කොන්දේසි’ රැසකි. ඡන්ද පොළ වෙත පැමිණීමේදී අනිවාර්්‍යයෙන් මුහුණු ආවරණ පැලඳ සිටිය යුතු විය. ඡන්ද පෝළිමේදී එකිනෙකා අතරේ මීටරයේ පරතරය පවත්වා ගැනීම කළ යුතු විය. ප්ලාස්ටික් අත් ආවරණ එසේත් නැතිනම් ග්ලවුස් පැලඳ සිටිය යුතු විය. ඡන්ද පොළට පිවිසීමේදී සහ පිටවීමේදී සබන් යොදා දෑත් සේවීම කළ යුතු විය. දෑත් සේදීමට සියලු පහසුකම් ඡන්ද පොළේ සූදානම් කර තිබුණි. ඡන්ද පත්‍රිකාව, හැඳුනුම්පත පමණක් නොව, ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ද ඡන්ද පොළට ඇතුළු වෙද්දී සිදුවිය. ශරීර උෂ්ණත්වය වැඩිවීමක් පෙන්නුම් කළේ නම් එම තැනැත්තා කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය. මේ සියලු ‘කොන්දේසි’ සම්පූර්ණ කළ අයට ඡන්ද පත්‍රිකාව ලබා දීම සිදුවිය. ඒ අනුව, ඔවුහු ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්ද පොළට ප්‍රවේශ වන අවස්ථාවේදී, ශරීර උෂ්ණත්වය මැන බලද්දී, හය සෙල්සියස් අංශ 37.5 ට වඩා වැඩි වී තිබුණේ නම්, එම ඡන්ද දායකයා පෝලිමෙන් ඉවත් කෙරුණු අතර, ඔහුට හෝ ඇයට වෙනම කුටියක් සූදානමින් තැබුණි. ඔහු හෝ ඇය ඡන්දය ප්‍රකාශ කළේ එම කුටිය තුළදීය. ඉන්පසු එම තැනැත්තා ‘කොවිඞ් 19’ වෛද්‍ය පරීක්ෂණයට ද ලක් කෙරුණි. සියලු ඡන්ද පොළ සහ ඡන්ද මධ්‍යස්ථාන මෙවර ජනාකීර්ණ ස්ථානවලින් පිටත ස්ථාපිත කෙරුණි.

දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ එරට පාර්ලිමේන්තුවේ ආසන 300 වෙනුවෙන්, නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය. මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 35 ක් ලියාපදිංචි වී සිටියේය. එසේ වුවත්, සටන පැවැතියේ පාලක පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය අතරේ ය. දකුණු කොරියාවේ පාලක පක්ෂය මින්ජෝ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. විපක්ෂය කොන්සවටිව් එක්සත් පක්ෂයයි. දකුණු කොරියානු ජනාධිපතිවරණය 2022 දී පැවැත්වීමට නියමිත අතර,  අද ඇරැඹුණු පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති මූන් ජේ ඉන් සහ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් විය. මැතිවරණය පැවැත්වෙන්නේ ‘කොවිඞ් 19’ වයිරස වසංගතය, දකුණු කොරියාවට ද ‘වසංගතයක්’ වූ අවස්ථාවකය. දකුණු කොරියාවෙන් පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයා හමුවූයේ පසුගිය ජනවාරි 20 වැනිදාය. ඒ, ඩෙගු නගරය කේන්ද්‍රකර ගනිමිනි. අද වනවිට දකුණු කොරියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 10,000 පසු කර තිබේ. මරණ සංඛ්‍යාව 222 කි. මැතිවරණ ක්‍රියාදාමයට මැතිවරණ කොමිසමඳ දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් පමණක් නොව රජය මැදිහත් විය. මැතිවරණ රැලි පැවැත්වූයේ නැත. දේශපාලන පක්ෂ ජනතාව ආමන්ත්‍රණය කළේ සමාජ මාධ්‍ය භාවිත කරමිනි. මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව ‘කොවිඞ් 19’ ය. ‘කොවිඞ් 19’ වයිරසයෙන් එල්ල වන සමාජීය සහ ආර්ථික බලපෑම සුළුපටු නොවෙයි. මෙය දකුණු කොරියාවට පමණක් නොව, ලෝකයේ සෙසු රටවලට ද පොදු කරුණකි.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, ප්‍රමුඛ රජය ‘කොවිඞ් 19’ වසංගතයට එරෙහිව මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ජනතාවගේ පැහැදීමක් තිබේ. එහෙයින්, ජනාධිපති මූන් ජේ ඉන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ජයග්‍රහණය පහසු වනු ඇතැයි පැවැසෙයි. දකුණු කොරියාව මුහුණ දෙන්න වූ ආර්ථික අර්බුදය සහ දූෂන වංචා චෝදනා සියල්ල ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන් යටපත් වී ගොස් ඇති බවක් දකින්න ලැබෙනවා යැයි දකුණු කොරියානු දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

මාරක වසංගතයක් මැද මැතිවරණය පැවැත්වීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් ජනාධිපති මූන් ජේ ඉන් ඇතුළු රජයට දිගින් දිගටම විවේචන එල්ල විය. වයිරසය තවත් ව්‍යාප්ත වී, රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වේවි යැයි විපක්ෂය චෝදනා නැගුවේ ය. කෙසේ නමුත්, ජනාධිපති මූන් ජේ ඉන් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව, මැතිවරණ කොමිසම ජනතාවගේ ආරක්ෂාවට මුල් තැන දෙමින්, මැතිවරණය පැවැත්වීමට කටයුතු කළේය. අද (15) මැතිවරණ දිනය වුවත්, ‘කොවිඞ් 19’ වයිරසය දරුණු ලෙස පැතිරෙන, නගර කේන්ද්‍රකොට ගනිමින් මැතිවරණ කටයුතු වේලාසනින් පැවැත්වීම සිදුවිය. ඒ, ඉකුත් සිකුරාදා සහ සෙනසුරාදා දිනයේ ය. ඒ අනුව, මිලියන 11 ක් වන දකුණු කොරියානු ජනගහනයෙන් සියයට 26 ක ප්‍රතිශතයක් කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා විය.

වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් නොව රෝහල් ද ඡන්ද පොළ බවට පරිවර්තනය විය. රෝහල්වල ඇඳට සීමා වී ප්‍රතිකාර ලබන ‘කොවිඞ් 19’ රෝගීන් වෙනුවෙන් තැපැල් ඡන්ද ක්‍රමයක් ක්‍රියාවට නංවා තිබුණි. එසේ නොවන රෝගීන් වෙනුවෙන් රෝහලේ ඡන්ද පොළ ස්ථාපිත කර තිබුණු අතර, සේලයින් බෝතල් එල්ලා ගත් වැඩිහිටියන් බොහෝ දෙනෙක් එම ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය භාවිත කළහ. ඒ, විශේෂ ආරක්ෂිත ඇඳුම්වලින් සැරැසී සිටි මැතිවරණ බලධාරීන්ගේ අධීක්ෂණය යටතේය.

නිරෝධායනය කළ නගර සහ පළාත්වල 60,000 කට වැඩි පිරිසක් වෙනුවෙන් ද ඡන්දය පැවැත්වීම සිදුවිය. එය මැතිවරණ බලධාරීන්ට අභියෝගයක් වුවත්, එය සාර්ථක වූයේ එම ජනතාවගේ හික්මීම, සහ විනය නිසා බව පැවැසෙයි. නිරෝධායනයට ලක්වුණු නගර සහ පළාත්වල වාහන ධාවනයක් සිදු නොවුණු බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොළ ජනතාවට ළඟා වීමට පහසු අයුරින් ස්ථාපිත කර තිබුණු බව පැවැසෙයි. නිරෝධායනයට ලක්වුණු පිරිස් ඡන්ද පොළ වෙත ගොස් ආපසු නිවෙස් බලා යෑම අනිවාර්ය වූ අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය විමසිල්ලෙන් පසුවිය.

වයිරස වසංගතයක් මැද මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම ‘අවුල් ජාලයක්’ වේවි යැයි චෝදනා එල්ල වුවත්, එවැනි ‘අවුල් ජාලයක්’ දකින්න ලැබුණේ නැත. ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනදාට වඩා කාලයක් ලබා දී තිබුණු අතර සියල්ල සාමකාමීව සිදුවිය. එපමණක් නොව, ඡන්ද පොළට පැමිණි පිරිස් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමත් එම දත්ත සටහන් කර ගැනීමත් සිදුවිය. ඡන්ද පොළට ආ කිසිවකු කලබල කළේ නැත. කතාබහක් කළේ නැත. ඡන්ද පොළට පැමිණ පෝලිමේ සිට ගත යුත්තේ කොතැනදැයි සලකුණු කර තිබුණි. ඡන්ද පොළට ආ පිරිස් බොහොම ඉවසීමෙන් තම වාරය පැමිණෙන තුරු බලා සිටියහ. මුහුණු ආවරණ පැලඳ සිටි ඔවුන් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුව කටයුතු කළ බව පැවැසෙයි. ඡන්ද දායකයන්ගේ පමණක් නොව, මැතිවරණ බලධාරීන්ගේ ද ආරක්ෂාවට මුල් තැන ලබා දීමට කටයුතු යෙදුණි.

(බී.බී.සී.)


RECOMMEND POSTS