පරිසරය වෙනුවෙන් හඬ නගන පරිසර නෝනා



දේවානි ජයතිලක ගැන සමාජයේ කතාබහක් ඇතිවූයේ මීට මාස කිහිපයකට පෙරය. ඒ මීගමුව සින්නඩිතෝට්ටම් දූපතේ කඩොලාන පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් සමඟ තනිව සටන් කළ වීරෝධාර පරිසර නිලධාරිනියක් ලෙසිනි.

''පරිසර නෝනා" කී සැණින් ඒ ඇය බව අදත් කවුරුත් හඳුන්නන්නේ සැබෑ පරිසර හිතවාදීන් හිඟ වෙමින් යන කලෙක කතරකට වැටි දියබිඳක් මෙන් ඇය පිළිබඳ ඇතිවූ හැඟීම නිසාවෙන්ම විය යුතුය.

'' ගම්පහ අඩුම වන ගහණයක් ඇති දිස්ත්‍රික්කයයි. මේ තියෙන ටිකත් විනාශ කරල දැම්මොත්  අපිට හුස්ම ගන්න ඔක්සිජන් කෝ. මේ දේ ආරක්ෂා කරගන්න පියවර ගන්න බැරි නම් අපි මෙච්චර ඉගෙනගෙන තනතුරුවලට එන්න ඕනේ නෑ. ඒ නිසා මම නීතියට පිටින් වැඩ කරන්නේ නෑ..." යැයි එදා ඇය පැවසුවේ අවටින් එල්ල වන විරෝධතා මධ්‍යයේය. එතැන සිටි කිසිම රාජ්‍ය නිලධාරියෙක් හෝ ඇයට සහය වන බවක් නොපෙනිණි.

අද යළිත් ඇය ගැන කතාබහට ලක්ව ඇත්තේ මුහුණු පොතෙහි තැබූ සටහනක් හේතුවෙනි.  

“ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න” යනුවෙන් ඇය සිය මුහුණු පොත් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය.

තමා සතු එකම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගෙන එසේ ලබාගන්නා ලංකාගම ඉඩම සිංහරාජ රක්ෂිතයට පැවරීම ඇගේ අරමුණ වී තිබිණි. ඇය සිය මුහුණු පොත් ගිණුමේ මෙම සටහන තැබීමෙන් පසු තවත් බොහෝ දෙනෙක් ඇය හා එක්වෙමින් සිංහරාජ අඩවියට පැවරීම සඳහා ලංකාගම ඉඩම් තම ඉඩම් සමඟ හුවමාරු කරගැනීමට කැමැත්ත ද පළ කර තිබිණි.

 දරු පැටවුන් සිටින මවක වන ඇය තමන් සතු එකම ඉඩමත් වනාන්තරයක් වෙනුවෙන් වැය කරන්නට තරම්ම පරිසරයට පෙම් කිරීම සැබැවින්ම අරුමයකි. දරුවන් වෙනුවෙන් සුරැකිය යුත්තේ ඉඩකඩම්, දේපල, යාන වාහන නොව පරිසරය බව ඇය සිතනවා වන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අක්කරයක පමණ ඉඩමක් මෙසේ හුවමාරු කරගැනීමට තීරණය කළ බවයි.

එහි කැලෑවක් නිර්මාණය කිරීමට තමන් සැලසුම් කර තිබූ බවත්, කුඩා කැලෑවක් නිර්මාණය කිරීමට වඩා සිංහරාජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යමක් කිරීම වැදගත් යැයි සිතුණු නිසා මෙම තීරණය ගත් බව ද ඇය කීවාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන තමන්ට සිංහරාජය වෙනුවෙන් රාජකාරී මට්ටමින් යමක් කළ නොහැකි නිසා පෞද්ගලිකව හෝ එයට දායකවීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඇය පැවසුවාය. ලංකාගමට පාරක් කපන එක ගැන මේ දිනවල කතාවෙනවා. ලංකාගම ජනතාවට පාරක් කපාදීම වරදක් නෙවෙයි. නමුත් මෙයින් හානිවන්නේ සංවේදී පරිසර පද්ධතියකටයි. ඒ නිසා ලංකාගම ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කළ හැකිදැයි සොයාබැලිය හැකිනම් එයත් වටිනවා." ඇය කීවාය.

සියැටෙල් නම් රතු ඉන්දියානු නායකයා තම ස්වදේශීය ජනතාව වෙනුවෙන් ක්‍රි.ව 1854 දී ඇමෙරිකානු ජනාධිපතිවරයාට යැවූ ලිපියේ මෙසේ සඳහන්ව තිබිණි.

''මහ පොළව අපේ මෑණියන් බව අපි අපේ දරුවන්ට කියා දුන් පරිදිම ඔබ ඔබේ දරුවන්ටත් වටහා දෙන්න. මහ පොළවට අත් වන්නේ කුමණ ඉරණමක් ද? ඇගේ දරුවන්ටත් ඒ ඉරණමම අත්වෙයි. මිනිසා පොළවට කෙල ගැසුවහොත් එය තමාටම කෙල ගසා ගැනීමක් බව ඔබේ දරුවන්ට වටහා දෙන්න. අපි මෙය දනිමු. මහ පොළව මිනිසාට අයිති නැත. මහ පොළවට මිනිසා අයත්ය. සියළු දෑ එකින් එකට සම්බන්ධ වී තිබේ. රුධිරය සියලු පවුල් එකට බැඳ තබන්නාක් මෙන් සියලු දේ එකින් එකට සම්බන්ධ වේ. මහ පොළවට කුමණ ඉරණමක් අත්වේද? එය මහ පොළවේ දරුවන්ටත් අත් වන්නේය. ජීවිත දැල මිනිසා විසින් වියූ එකක් නොව ඔහු හුදෙක් එහි එල්ලී සිටින්නෙකි. දැලට කුමක් හෝ කළහොත් ඔහු එය තමාටම කර ගන්නේය."

මේ ප්‍රකාශය එදා මෙන්ම අදටද වලංගුය. දරුවන් වෙනුවෙන් යහපත් හෙටක් තනන්නට නම් සුරැකිය යුත්තේ පරිසරයම මිස ‍අනෙකක් නොවේ. දේවානි ද සියැටෙල් පරපුරේ නූතන පුරුකක් බඳුය. දේවානිලා තව තවත් පහළ විය යුතුමය. එවිට රටේ දරු පරපුර වෙනුවෙන් පරිසරය සුරැකෙනු ඇත.

සටහන - ඩයනා උදයංගනී.


RECOMMEND POSTS