නොකියා ආ මරුවා
ඉන්දුනීසියාව, භූ තැටි මායිමකට ඉහළින් පිහිටි යමහල්වලින් එසේත් නැතිනම් ගිනිකඳුවලින් සැඳුම්ලත් දූපත් රාජ්‍යයකි. ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර ‘සුන්ඩා’ සමුද්‍ර සන්ධිය ආසන්නයේ ‘අනාක් ක්‍රැකටෝවා’ යමහල පිහිටයි. පසුගිය 23 වැනිදා රාත්‍රී 9 පසුවී මිනිත්තු කීපයක් ගත වෙද්දී ‘අනාක් ක්‍රැකටෝවා’ සක්‍රිය වී, පුපුරා ලාවා විහිදුවන්න විය. දුම්වලා පිට කරන්න විය. ‘අනාක් ක්‍රැකටෝවා’ යනු මීට වසර 135 කට පමණ පෙර ද ඉන්දුනීසිය කලඹමින් මහා ජීවිත විනාශයක් සිදු කරමින් පුපුරා ගිය යමහලකි.
යමහල සක්‍රීය වී පුපුරා යන බව ඉන්දුනීසියා යමහල් විද්‍යාඥයෝ කල් තියා අනතුරු අගවා තිබුණු හෙයින්, ඉන්දුනීසියා වැසියෝ ඒ ගැන විමසිලිමත් වූහ. ‘අනාක් ක්‍රැකටෝවා’ පිපිරී යෑමට පටන්ගෙන මිනිත්තු 24 ක් පමණ ගතවෙද්දී, සාගරය කැලැඹී හටගත් බිහිසුණු සුනාමියක් සුන්ඩා සමුද්‍ර සන්ධිය දිගේ රට තුළට කඩා වැදුණි. සුනාමිය කඩා වදින තෙක් ඒ ගැන කිසිවකු දැන සිටියේ නැත. පෙර අනතුරු ඇගවීමක් සිදු නොවුණු බැවින්, බිහිසුණු රළ පහරට 284 ක් බිලි වූහ. තුවාල ලැබූ ගණන දහසකට වැඩිය. අතුරුදන් ගණන 30 කි. මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. සුන්බුන් වුණු නිවාස, ගොඩනැගිලි සහ මෝටර් රථවල සිරවුණු පිරිස් බේරා ගැනීම පසුගිය දින කීපය පුරාවට සිදුවිය.
සුනාමිය හටගත්තේ යමහල පුපුරද්දී, එහි මුහුද පතුළේ ඇති එක් බෑවුමක සිදුවුණු පස් කඳු නායයෑමක් නිසා මුහුද කැලඹීමෙනි. භූමි කම්පාවකින් පසු මුහුද කැලඹී සුනාමිය නිර්මාණය වූයේ නම්, මුහුදේ රඳවා ඇති බෝයා ඇසුරින්, මුහුදේ ජල මට්ටමේ සිදුවන වෙනස්කම් මගින් සුනාමියක් එන බවට අනතුරු ඇගවීමක් සිදුවෙයි. සුනාමි රළ ඉඹේ හට නොගනී. සුනාමි හට ගැනීමට නම් මුහුදේ කැලැඹීමක් විය යුතුමය. භූමි කම්පාවක්, මුහුදු පතුලේ යමහල් පිපිරීමක්, පස් කඳු සහ අයිස් කඳු නායයෑමක් පමණක් නොව, මුහුදට පතිත වන යෝධ ග්‍රහකයක් නිසා සුනාමි නිර්මාණය වෙයි.
ප්‍රධාන වශයෙන් සුනාමි නිර්මාණය වන්නේ භූමි කම්පා නිසාය. සුනාමි ගැන කල්තියා අනාවැකි පළ කළ නොහැකි වුවත්, භූමි කම්පා ගැන අනාවැකි පළ කළ හැකිය. ඊට හේතුව, භූමි කම්පා හටගන්නේ කුමන් ස්ථානවල ද යන්න විද්‍යාඥයන් හඳුනාගෙන තිබීම නිසාය. භූමි කම්පා හට ගැනීමේ වැඩි අවදානමක් ඇත්තේ භූ තැටි මායිම්වලට ඉහළින් පිහිටා ඇති රටවලටය. ආසියාවේ ‘රිංග් ඔෆ් ෆයර්’ එසේත් නැතිනම් ගිනි වළල්ල යන නමින් හැඳින්වෙන්නේ ඉන්දුනීසියාවට ඉහළින් ඇති භූ තැටියයි. භූමි කම්පාවක් හටගන්නේ භූ තැටි එකිනෙක මත ගැටීම නිසාය.
1883 දී ඉන්දුනීසියාව ලන්දේසීන් විසින් යටත් කර ගනු ලැබ තිබුණි. 1883 අගෝස්තු 26 සහ 27 වැනිදා මීටර් 300 ක් උසැති ක්‍රැකටෝවා යමහල බිහිසුණු ලෙස පුපුරා ගියේය. පිපිරීමත් සමඟ හටගත් භූමි කම්පාවලින් ඉන්දුනීසියාවට අයත් මුළු සාගර කලාපයම කැලඹිණි. එම අවස්ථාවේදී හටගත්තේ එසේ මෙසේ සුනාමියක් නොවෙයි. එම සුනාමියේ උස අඩි 125 ක් බව පැවැසෙයි. එම සුනාමියට බිලිවුණු ගණන 30,000 ක් යැයි ද පැවැසෙයි.
සුනාමියක අමිහිරි මතකය අපට අමතක නැත. 2004 වසරේ දෙසැම්බර් 26 දා උදෑසන ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා රටවල වැසියෝ බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්හ. ඒ, ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් 2,450 ක් පමණ දුරින් පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අසල ගැඹුරු මුහුදේ හටගත් අති ප්‍රබල භූමි කම්පාවක් හේතුවෙනි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඉහළම අගයක් එනම් 9.0 ක් සටහන් කළේය. භූමි කම්පාවෙන් පමණක් සිදුවුණු ජීවිත සහ දේපොළ හානිය ද අතිමහත්ය.
භූමි කම්පාවේ ප්‍රතිඵලයක් ලෙස, නැඟුණු උස් උදම් රළ හෙවත් සුනාමිය අවට පිහිටි රටවල වෙරළාශ්‍රිත ප්‍රදේශවලට කඩා වැදුණේ ඉන්පසුවය. මෙය මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභාවික ව්‍යසනය ලෙස සැලකෙයි. සුනාමියේ බලපෑමට ලක් වූ රටවලට අහිමි වූ මිනිස් ජීවිත ගණන 2,26,000 කි. ඉන්දුනීසියාවේ පමණක් මියගිය ගණන 1,68,000 කට වැඩිය.
මුහුදු පතුලේ භූ කම්පන මගින් නිකුත් වන තරංග, මුහුදු රළ නිර්මාණය කරමින්, භූ කම්පනය සිදුවූ ස්ථානයේ සිට වට සීමාවක් පුරා පැතිරෙටයි. එය පොකුණකට ගල් කැටයක් දැමූ විට ඇති වන රළ විහිදීමක් වැනිය. සුනාමියක දී මුහුදු රළ ගමන් කරන්නේ පැයට සැතපුම් 450 ක පමණ වේගයකිනි. මහා මුහුදු රළ වෙරළාසන්නයට එන විට එහි වේගය මඳක් අඩු වුවත් නොගැඹුරු මුහුදු සීමාවට පැමිණෙද්දී ඒවායේ උස ප්‍රමාණය වැඩිවෙයි. අති ප්‍රබලත්වයකින් වෙරළේ ගැටෙන රළ ගොඩ බිම තුළට වැදී මහා ව්‍යසනයක් සිදු කරයි. මෙම මුහුදු රළ අඩි 100 ක් දක්වා උස් විය හැකිය. වෙරළට කඩා වදින මෙම රළ පහරවලින් සිදුවන විනාශය රළ පහරේ ප්‍රබලත්වය අනුව අඩු වැඩිවෙයි.
1946 වසරේ අප්‍රියෙල් පළමු වැනිදා ඇලෙස්කාවේ ඇලෙයුෂියන් දූපත් අසළ මුහුදු පතුළේ රික්ටර් මාපක 7.8 ක ප්‍රබලත්වයක් ඇති භූ කම්පනයක් ඇති විය. එහිදී හටගත් මීටර 14 ක් උස සුනාමි රළ පහර හවායි දූපත්වල මහා විනාශයක් ඇති කරන ලදී.
සුනාමි ගැන වඩාත් හොඳින්ම දන්නෝ ජපන් ජාතිකයෝය. පසුගිය වසර 1313 ක කාලයේ සුනාමි 195 කට ජපන් ජාතිකයන් මුහුණ දී ඇතැයි පැවැසෙයි. ‘සුනාමි’ (ත්සුනාමි) යනු ජපන් වදනකි. ජපන් බසින් ‘ත්සු’ යනු වරාය හෙවත් නැව්තොටය. ‘නාමි’ යනු රළය. ඒ අනුව, වදනෙහි අර්ථය ‘වරායේ රළ’ යන්නය. මේ නම බිහි වූයේ වරායක් ආශ්‍රිතව මතු වූ උස් උදම් රළ සහිත මුහුද ගොඩ ගැලීමක් නිසාය. ඒ, ජපන් වරායකින් මුහුදු ගිය ධීවරයන් යළි ආපසු වරායට එන විට වරායේ නවතා තිබූ යාත්‍රා ඇතුළුව අවට වෙරළ මුහුදු රළවලින් විනාශ වී තිබෙනු දැක ගත හැකිවිය. වරායෙන් එපිට වූ මුහුදේ දී ඔවුන් අත් නොදුටු රළ පහරක් හදිසියේ වරායෙන් මතු වී තිබීම නිසා ඔවුන් සිතුවේ මෙය වරායෙන් මතු වූ රළ පහරක් නිසා ඇති වූවක් ව්‍යසනයක් ලෙසය. ඒ නිසා එම ධීවරයෝ මෙය ‘ත්සුනාමි’ නමින් එය නම් කළහ. අද එය සිංහලට ‘සුනාමි’ බවට පත් වී ඇත. එපමණක් නොව, අද ඕනෑම ගැලවිය නොහැකි කරදරයක් හෝ ව්‍යසනයක් හැඳින්වීමට ද මේ වදන යොදා ගන්නා අවස්ථා ද දකින්න ලැබේ.
ජපන් බස හැරුණු විට මේ විනාශකාරී සුනාමිය සඳහා වෙන ම වදනක් ඇති ලොව අනෙක් බස වන්නේ දෙමළ බසය. දෙමළ බසින් සුනාමිය හැඳින්වෙන්නේ ‘ආසි පෙරළායි’ කියාය. ‘සුනාමි’ යන නම මෑත දී ඇති වූවක් වුවත් සුනාමි ඇති වීමේ ඉතිහාසය දුරාතීතයට දිව යන්නකි. පන්සිය පනස් ජාතක කතා පොතේ ‘සමුද්ද වානිජ’ ජාතකයේ සුනාමියේ ආකාරයට මූදු රළ පැමිණ දූපතක මිනිසුන් ගසා ගෙන ගිය අන්දම දැක්වෙයි. මහාවංශයේ ද කැලණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලූ බවක් සඳහන් වෙයි. මෑත ඉතිහාසයට අනුව ගතවූ සියවස තුළ අඩු තරමින් සුනාමි 25 ක් වත් හට ගෙන ඇත. ඒවා අතරින් වැඩි ප්‍රමාණයක් ආසියා පැසිෆික් කලාපයේ ඇතිවූ ඒවාය. එයින් දරුණුතම සුනාමිය 2004 සුනාමියයි.
සුනාමියේ ඓතිහාසික සටහන් ක්‍රි.පූ. 4 තරම් ඈතට දිව යයි. ග්‍රීක ඉතිහාසඥ තුසිඩීඞ්ස් ඔහුගේ ‘පොලොපොනීසියන් යුද්ධයේ ඉතිහාසය’ නම් පොතේ සිදුවූ සුනාමියක් ගැන සටහනක් තබා ඇත. ඔහු එහිදී තර්කානුකූලව සඳහන් කරනුයේ එය භූමිකම්පාවක් නිසා හටගත් එකක් බවයි. සුනාමි ඇතිවීමට හේතුව භූමි කම්පා නිසා සුනාමි ඇති වන අයුරු සම්බන්ධව විද්‍යාත්මකව විග්‍රහයක් කළ මුල්ම පුද්ගලයා වන්නේ මොහුය. ඓතිහාසිකව සිදුවූ සුනාමි අතර පැරැණිතම සුනාමිය ලෙස වාර්තා වන්නේ මීට වසර 2500 කට පෙර එනම් ක්‍රි. පූ. 479 ග්‍රීසියේ පොසිඩායි නගරයට කඩා වැදුණු සුනාමියයි. ක්‍රි.ව. 365 දී ඇමියනස් මර්සෙලිනස් නම් රෝම ඉතිහාසඥයා ඇලෙක්සෙන්ඩ්‍රියාව විනාශ කළ සුනාමියක් ගැන විස්තර සඳහන් කර ඇත. ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සුනාමිය ලෙස සැලකෙන්නේ ඇලෙක්ස්කාවේ ලිතූයා බොක්කට 1958 වසරේ ජූලි 9 වැනිදා කඩා වැදුණු සුනාමියයි. මෙම සුනාමි රළ අඩි 1,720 ක් ඉහළ නැඟ ඇත. විද්‍යාඥයන් මෙවැනි සුනාමි හඳුන්වන්නේ ‘මෙගා සුනාමි’ යනුවෙනි.
ඒ.එෆ්.පී. ඇසුරිනි