ජෙරුසලම නැවත ගිනි නොගත යුතුය



පසුගිය වසරේ ඔක්තෝබර් 12 වන දා පලස්තීනයේ ෆාටා සහ හමාස් සංවිධාන දෙක අතර ඇතිවූ එකඟතා ගිවිසුම අනුව බටහිර ඉවුරේ පලස්තීන අධිකාරියේ පාලන බලය දැරූ ෆාටා සංවිධානය වෙත මෙතෙක් කලක් හමාස් සංවිධානය විසින් පාලන බලය දැරූ ගාසා තීරයේ පාලන බලය ද හිමිවිය.

එය පලස්තීන රාජ්‍යක් සඳහා වන එම ජනතාවගේ බලාපොරොත්තු ඉහළ යාමකි. හමාස් පාලනය ගාසා තීරයේ නිල නොවන පාලනයක් ලෙස හැඳින්විය. ඒ 2007 මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ හමාස් සංවිධානය වුවත්, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල සහ ඊශ්‍රායලයේ විරෝධය නිසා හමාස් පාලනය ජා්‍යන්තර පිළිගැනීමකට ලක් නොවීමය.

එහෙත් ෆාටා- හමාස් එකඟතා ගිවිසුම මගින් පලස්තීන අධිකාරිය ඇතිකරගෙන තිබෙන ජාත්‍යන්තර ගිවිසුම් පිළිගැනීමටත්, ඊශ්‍රායලය රාජ්‍යක් ලෙස පිළිගැනීමටත් හමාස් සංවිධානය එකඟ විය. මීට පෙර හමාස් සංවිධානය මෙම පිළිගැනීම් දෙකම සිදුකර තිබුණේ නැත. එසේම ඔස්ලෝ සාම ගිවිසුම පිළිගැනීමටත්, 1967 හය දින යුද්ධයට පෙර පැවති දේශසීමා තුළ පලස්තීන රාජ්‍යක් පිහිටුවීමත් නව එකඟතා ගිවිසුම මගින් හමාස් සංවිධානය පිළිගෙන ඇත. ඒ අනුව පලස්තීන රාජ්‍යක් සඳහා කටයුතු කළ ප්‍රධානම සංවිධාන දෙක එකඟතාවයකට පැමිණීම පලස්තීන ජනතාවගේ ජයග්‍රහණයකි.

මේ තත්වය මත පසුගිය වසර අවසානයේ දී ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීම මේ සියලුම තත්ත්ව අවුල් කරවන්නකි. නමුත් ඇමරිකා ජනාධිපතිවරයාගේ ස්ථාවරය බි්‍රතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය වැනි බලවතක් රටවල් පිළිනොගැනීම යම් තරමක සැනසිල්ලකි. ජෙරුසලම අයත්වන්නේ පලස්තීනයට ද, ඊශ්‍රායලයට ද යන්න තීරණය කිරීම එක්සත්ජාතීන්ගේ සංවිධානයට අයත් කාර්යයකි. එය ජාත්‍යන්තර එකඟතාවයකි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අවුල් සහගත කාරණයක් වන්නේ ඒ නිසාය. තමන්ට අයත් නැති කාර්යයක් කිරීමය. ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය කිරීමය. විශේෂයෙන්ම මෙයට පෙරද ජනාධිපති ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයකින්ම ඒකපාර්ශවීය ලෙස ඉවත්විය. දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමෙන් ද, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාත්මක සැලස්මෙන් ද එසේ ඉවත්විය.

මේ සෑම අවස්ථාවකදීම ඇමරිකාවේ ස්ථාවරය බි්‍රතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය වැනි බලවත් රටවල් පිළිනොගැනීම තළින් ඉදිරියේදී ද ඇමරිකාව ජාත්‍යන්තර ගිවිසුම් නොසලකා හැරීමේ වැරදි පූර්වාදර්ශ පිළිනොගැනීමටත්, ජාත්‍යන්තර ගිවිසුම්වලින් බාහිරව තනි සුපිරි බලවතෙකු වීමට ගන්නා උත්සාහයත් ප්‍රතික්ෂේප කිරීමකි.

එහෙත් අනූව දශකයේ දී බිල්  ක්ලින්ටන් ජනාධිපතිවරයා යටතේ ඇමරිකාවේ ස්ථාවරය මෙයට හාත්පසින්ම වෙනස්විය. 1993 දී ඊශ්‍රායල් අගමැති යිට් ශාක් රාබීන් පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයාවූ යසර් අර්ෆත් සමග ඇමරිකාවේ මැදිහත්වීම මත 1993 ඔස්ලෝහි දී සාම ගිවිසුමකට එළඹුණි. ඒ පලස්තීන අධිකාරියක් පිළිගනිමින් සහ එම අධිකාරිය පිහිටුවමිනි. එම සාම ගිවිසුම පිළිබඳව යුධවාදි අන්තවාදීන් හැරෙන්නට ලෝවැසි සියල්ලෝම සතුටට පත්විය. ඔස්ලෝ ගිවිසුමේ පළමු ප්‍රතිඵලය වූයේ සාමය පිළිබඳ බලාපොරොත්තුවයි. රාබීන්ට 1994 දී නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. ඒ අර්ෆත් සහ එවක ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍ය සිමොන් පෙරෙස් ද සමග හවුලේය. දෙවන ප්‍රතිඵලය ලෙස 1995 නොවැම්බර් 4 වන දා යුදෙව් අන්තවාදියෙකු වනයිගල් අමීර් විසින් අගමැති රාබීන්ව ඝාතනය කරන ලදී.

ක්ලින්ටන් ජනාධිපතිවරයා යටතේ පලස්තීන අධිකාරියක් පිහිටුවීමට සහ ඊටපිළිගැනීම ලබා දීමට ඇමරිකාව කටයුතු කළත්, ජනාධිපති ට්‍රම්ප් යටතේ තත්ත්වය ශීඝ්‍ර ලෙස වෙනස් වෙමින් පවතී. ඒ අනුව පලස්තීන අධිකාරිය රාජ්‍යක් ලෙස යුනෙස්කෝ සංවිධානයට ඇතුළත් කර ගැනීමට ඇමරිකාව විරුද්ධ වී එම සංවිධානයෙන් ඉවත් වූ අතර යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස නම්කර තිබෙන හෙබ්‍රේාන් නගරයේ යුදෙව් ජනාවාස පිහිටුවීමට ඊශ්‍රායලය පියවර ගත්තේය.

ඇමරිකාව ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීම ඇතුළු සියලුම තත්ත්ව මැද අරාබි ලීගය මේ වනවිට පලස්තීන රාජ්‍යක් සඳහා කටයුතු කිරීමට සූදානමින් සිටී. සිරියාව සහ ඉරානයටඑරෙහිව ඇමරිකාවට පක්ෂපාත සෞදි අරාබිය ද අරාබි ලීගය තුළ සිටින අතරඑය ඇමරිකාවේ කනස්සල්ලට හේතු වී තිබේ.

විශේෂයෙන්ම පලස්තීන ජනතාව දැනට සිටින තත්ත්වය අනුව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ක්‍රියා කළ යුත්තේ මේ ආකාරයට නොවන බව පැහැදිලිය. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ගාසා තීරය ඇතුළු ප්‍රදේශ මනුෂ්‍ය වාසයට නුසුදුසු ප්‍රදේශ බවට පත්වෙමින් ඇත. විදේශ ආධාර නොවන්නට මේ වන විටදඑහි මනුෂ්‍ය වාසය සිදු නොවනු ඇත. සියයට අසූවකට වඩා ජනතාවක් යැපෙන්නේ විදේශ ආධාරවලිනි.
ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරයේ බලවත් රටවල් විසින් පලස්තීන ජනතාවගේ අයිතිය ද පිළිගත යුතුය.

ඉතිහාසයට ගොස් තොරතුරු සොයාගෙන වර්තමානයේ අයිතිය තහවුරු කළ නොහැකිය. ඵෙතිහාසිකව අරාබි සහ යුදෙව් යන දෙපිරිසම මෙම ජෙරුසලම අවට ප්‍රදේශවල ජීවත්ව ඇත. කලක් යුදෙව්වන් රටක් නොමැතිව ලෝකය පුරා ජීවත් වී ඇත. පසුව සියොන්වාදී ව්‍යාපාරය තුළින් බටහිර රටවලද සහය ඇතිව ඔවුන් අද ඊශ්‍රායලය නම් දියුණු රටකට හිමිකම් කියයි. අතීතයේ දී පලස්තීනය කියා රටක් තිබුණද එහි අරාබීන් වාසය කළ ද වර්තමානයේ දී පලස්තීනය කියා නිෂ්චිත භූමි ප්‍රදේශයක් ඇති රටක්නොමැත. විශාලම ගැටලුව වන මේ ජාතීන් දෙකම තමන්ගේ මර්මස්ථානය ලෙස ජෙරුසලම සැලකීමයි. ඒ මත තම රාජ්‍ය ගොඩනැගිය යුතු බව කල්පනා කිරීමයි.

එවැනි අවස්ථාවක දී දැනට ඇමරිකාවේ ක්‍රියාකලාපය කොහෙත්ම ප්‍රායෝගික නැත. මේ ජාතීන් දෙකම නැවත විනාශකාරීයුද්ධයකට ඇද නොදමන ජාතීන් දෙකෙහිම ගෞරවයට හේතුවන විසඳුමකට යාමට සහය වීම එක්සත් ජාතීන් ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ වගකීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුම් ඇතුළු ජාත්‍යන්තර ගිවිසුම් වලින් ඉවත් වෙමින් සිටින ඇමරිකාව විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම මගින් ඇතිකරනු ලබන්නේ ලෝක සාමයටම තර්ජනයකි.

විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ කටයුතු කරමින් සිටින හමාස් වැනි සංවිධාන ප්‍රතික්ෂේප කිරීමකි. එහි ප්‍රතිඵලය නැවත වටයකින් ඇමරිකාව ඇතුළු සමස්ත ලෝකයටම අහිතකර ලෙස බලපානු ඇත. මන්ද කිසියම් හෝ ජාතියකට අගෞරව හෝ අවමන් කිරීම මගින් අනෙකුත් කිසිදු ජාතියක සුරක්ෂිතභාවය ඇති නොවන නිසාය.

වසන්ත රනිල් කුමාර


RECOMMEND POSTS