කිම් ජොන් උන්ට මොකද වුණේ ?
කොරෝනා ජරමර මැද, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සම්බන්ධයෙන් අසුබ ආරංචියක් අසන්න ලැබුණි ඇමෙරිකාව ඇතුළු පටහිර සම්බාධක හමුවේ නොසැලී, මිසයිල අත්හදා බලමින් තම ශත්තිය ලොවට පෙන්වූ උතුරු කොරියා නායක කිම් ජොන් උන් ගිලන් වී සිටී.
බටහිර ගැති විදෙස් මාධ්‍ය පමණක් නොව, ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය ද වාර්තා කර ඇත්තේ නායක කිම් ජොන් උන් හදවත් සැත්කමකට ලක් කළ බවත්, එම සැත්කමින් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට බොහෝ සේ පිරිහී, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, මොළය මියගොස් ඇති බවත්ය.
උතුරු කොරියානු ජාතික දිනය පසුගිය අප්‍රේල් 15 වැනිදාට යෙදී තිබුණි. උතුරු කොරියානුවන්, ඔවුන්ගේ ජාතික දිනය ලෙස සමරන්නේ උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සන්ගේ ඡන්ම දිනයයි. එය යෙදි ඇත්තේ අප්‍රේල් 15 වැනිදාටය. කිම් ඉල් සන් යනු නායක කිම් ජොන් උන්ගේ සීයාය.
අප්‍රේල් 15 වැනිදා ජාතික දිනය මහ ඉහළින් සෑම වසරකම සැමරෙයි. හමුදා පෙළපාළි මැද හමුදා ශක්තිය ප්‍රදර්ශනය කරේ. නායක කිම් ජොන් උන් ඊට සහභාගී වන්නේ ජනතා හරසර මැද, හමුදා ප්‍රධානීන් පිරිවරා ගනිමිනි. පසුගිය 15 වැනිදා සැමරුම් උත්සවය යොන්ග්යැංග් අගනුවර පැවැත්වුවත් එහි අඩුවක් තිබුණි. කිම් ජොන් උන් දකින්න සිටියේ නැත. කිම් ජොන් උන් වෙනුවට සියලු කටයුතු මෙහෙයවීම කර තිබුණේ ඔහුගේ නැගණිය කිම් යෝ ජොන් ය.
සැමරුම් උත්සවයට කිම් ජොන් උන් සහභාගී නොවීම සම්බන්ධයෙන් අසල්වැසි දකුණු කොරියාව මවිතය පළ කළා පමණක් නොව, දකුණු කොරියා මාධ්‍ය ඒ සම්බන්ධයෙන් සෙයා බලන්න පටන් ගත්තේය. මේ අතරතුරේ, පසුගිය 21 වැනිදා මුළු ලොවට කලඹමින්, උතුරු කොරියානු රජයේ නිල පුවත් සේවයක් ලෙස සැලකෙන ඬේලි එන්.කේ.’ පුවත් වෙබ් අඩවිය එම පුවත පළ කළේය. කිම් ජොන් උන් උතුරු කොරියාවේ රෝහලකදී හදවත් සැත්කමකට ලක් කර තිබේ. ඒ, අවහිර වුණු හෘද කපාටයක් හේතුවෙනි. හදිසියේම එම සැත්කම සිදු කර ඇත්තේ අප්‍රේල් 12 වැනිදාය.
සැත්කමින් පසු නායක කිම් ජොන් උන් සුවය ලබමින් පසුවෙයි. ඒ, ඔහුගේ ගම් පළාතේ නිවාඩු නිකේතනයකය. උතුරු කොරියානු නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කළ මෙම පුවත සෙසු විදෙස් පුවත් සේවා උපුටා දැක්වීය. කෙසේ නමුත් නායක කිම් මොළය අක්‍රිය වී සිටින බව වාර්තා කර තිබෙන්නේ බටහිර මාධ්‍ය කිහිපයක් පමණය.
නායක කිම් ජොන් උන් 36 හැවිරිදි වියෙහි පසුවෙයි. කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ය. සුරූපිනියක වන රී සොල් ජූ උතුරු කොරියාවේ ජනප්‍රිය ගායිකාවකි. දෙදෙනා විවාහ වී ඇත්තේ 2009 වසරේ දීය. දෙදෙනාට කිම් ජෝ සූ නමින් හතක් හැවිරිදි දියණියක සිටී. කිම් ජොන් උන් අධික තරබාරු, අධික ලෙස දුම් බීමට යොමු තැනැත්තකු බව ප්‍රකට කරුණකි. පසුගිය කාලයේ නායක කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් පිරිහී ඇතැයි ද පැවැසෙයි. මෙම වසර ආරම්භයේ දී නායක කිම් ජොන් උන්, රටේ පාලන බලතල සහ හමුදා බලතලවලින් බොහොමයක් සොහොයුරිය කිම් යෝ ජොන් ට පැවැරුවේ අසනීප තත්ත්වය නිසා යැයි දැන් පැහැදිලි වන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නායක කිම් ජොන් උන් එසේ කළේ ඔහුගේ අසනීප තත්ත්වය නිසා යැයි දැන් සැකයක් මතු වී තිබේ. කිම් ජොන් උන්ට පමණක් නොව, සොහොයුරි කිම් යෝ ජොන් ට එරෙහිව ද මානව හිමිකම් කඩකිරීම් සහ තමන්ට එරෙහි වුණු නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී ඇත. චීනයේත් දකුණු කොරියාවේත් අසල්වැසියා වුවත්, තවමත් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් කිසිවකු උතුරු කොරියාවෙන් හමුවී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ බව තහවුරු කර තිබේ.
උතුරු කොරියාවෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවුණු බවත් ඔවුන් මරා දැමීමට නායක කිම් ජොන් උන් අණ දුන් බවත් ඇතැම් බටහිර පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබේ. ඒ කිසිදු සාක්ෂියක් නොමැතිවය. උතුරු කොරියා නායකයා ගිලන් වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ, ‘කොවිඞ් 19’ ආසාදනය වූ නිසා යැයි ද එම වෙබ් අඩවි මේ වනවිට වාර්තා පළ කර තිබේ. එය ද සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නැත.
කිම් ජොන් උන්ගේ මෙන්ම කිම් යෝ ජොන්ගේ පියා කිම් ජොන් ඉල් ය. කිම් ජොන් ඉල් උතුරු කොරියාවේ නායකයා ලෙස 1994 සිට 2011 දක්වා කටයුතු කළේය. කිම් ජොන් උන් උතුරු කොරියාවේ නායකයා බවට පත් වූයේ කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් පසුවය. අධ්‍යාපනය ලැබුවේ ස්විට්සර්ලන්තයේය. ඇමෙරිකාව සමඟ පවතින එදිරිවාදිකම් අවසන් කිරීමට කිම් ජොන් උන්, ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී හමුවිය. එය ඓතිහසික සිදුවීමක් විය.
ලෝක දේශපාලනයේ පෙරැළියක් විය. එහිදී කිම් ජොන් උන් කියා සිටියේ කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර සාමකාමී තැනක් බවට පත් කිරීමට තමන් කැමැති බවය. කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනයට අවශ්‍ය පරිදි උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් සිදු නොවුණි.
ඬේලිමේල් ඇසුරිනි