2022 දී ගගන මෙහෙයුමක්
පසුගිය අගෝස්තු 15 වැනිදා ඉන්දියාව ඔවුන්ගේ 72 වැනි නිදහස් දිනය සැමරුවේය. නිදහස් දිනය නිමිත්තෙන් ප්‍රධාන සැමැරුම සුපුරුදු පරිදි නවදිල්ලි අගනුවර ‘රතු බළකොටුව’ කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විණි.
සෙසු ප්‍රාන්තවල ප්‍රාන්ත මට්ටමින් සැමැරුම් උලෙළ පැවැත්වුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි. නවදිල්ලියේ පැවැත්වුණු ප්‍රධාන සැමරුම වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණි. ඉන්දීය ත්‍රිවිධ හමුදාව, පෙළපාළිවලට එක් වෙමින් යුද ශක්තිය ප්‍රදර්ශනය කළේය. සැමැරුම පැවැත්වූයේ 15 වැනිදා උදෑසනය.
එම අවස්ථාවේ, නවදිල්ලි අගනුවරට ඉහළින් ගුවන් කලාපය තහනම් කලාපයක් ලෙස ද නම් කර තිබුණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිදහස් දින සැමැරුමට එක් වෙමින් ජාතිය ඇමැතීය. මෝදි ඉන්දීය අගමැතිවරයා ලෙස නිදහස් දින සැමරුමකදී දේශනයක් පැවැත් වූ පස්වැනි අවස්ථාව මෙයයි. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය බලයේ සිටින්නේ 2014 වසරේ සිටය. රටේ පවතින අර්බුද සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති මෝදි කියා සිටියේ ඒවාට කඩිනමින් විසඳුම් ලබා දෙන බවය. ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන සම්බන්ධයෙන් තමන් මහත් ආඩම්බර වෙන බව පැවැසූ ඉන්දීය අගමැති මෝදි පොරොන්දුවක් ලබා දුන්නේය. ඒ, 2022 වෙද්දී ඉන්දියාව, ඉන්දීය ගගනගාමීන්ගෙන් සමන්විත අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කරන බවය.
ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීම සම්බන්ධයෙන්, අද වනවිට ඉදිරියෙන්ම සිටින්නේ ඇමෙරිකාව (නාසා ආයතනය) සහ රුසියාවය. තෙවැනි ස්ථානයේ සිටින්නේ චීනයයි. 2022 වෙද්දී ඉන්දියාවට ගගනගාමීන් අභ්‍යවකාශ මෙහෙයුමකට යැවීමට හැකි වුවහොත් අභ්‍යවකාශ ගවේෂණයේ යෙදෙන සිවුවැනි රට වනු ඇත්තේ ඉන්දියාව සහ ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයයි.
ඉන්දියාව අද වනවිට අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් චීනය සහ ජපානය පමණක් නොව, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය පවා අභිබවා සිටී. ප්‍රංශය බ්‍රිතාන්‍යය ජර්මනිය වැනි යුරෝපා රටවල් එකමුතුවෙන් ක්‍රියාත්මක වන්නේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි. මිනිසුන් සහිත ගගන මෙහෙයුමක් සිදු කිරීම ඉන්දියාවට අසීරු කටයුත්තක් වුවත් එය කළ හැකි දෙයකි. එම මෙහෙයුමට ගගනගාමීන් සහ ගගනගාමිණියන් තෝරා ගැනීම ඉදිරියේ දී සිදු වනු ඇතැයි පැවැසෙයි.
ඉන්දියාව පළමු වරට ගගනගාමියකු අභ්‍යවකාශයට යැවුවේ 1984 වසරේදීය. ඔහු රාකේෂ් ෂර්මාය. ෂර්මා පළමුවෙන් උඩුගුවනට ගියේත් ආපසු පෘථිවියට ආවේත් සෝවියට් රුසියානුවන්ගේ සහාය ඇතිව ඔවුන්ගේ සෝයූස් ටී 11 යානයෙනි. ඒ, 1984 වසරේ අප්‍රේල් 2 වැනිදාය. ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතික කල්පනා චවාලා 1997 වසරේ කොලොම්බියා ෂටලයෙන් උඩු ගුවනට ගියාය. ඉන්දීය සම්භවයක් ඇති පළමු ඇමෙරිකන් ගගනගාමිණිය මැයයි.
ඉන්දීය සම්භවයක් සහිත තවත් ඇමෙරිකානු ගගනගාමිණියක වන සුනීතා පාණ්ඩ්‍ය ලින් විලියම්ස් අභ්‍යවකාශයට ගොස් ගගන සක්මනක ද නියැලුණේය. මැය ඉන්දු ඇමෙරිකානු සම්භවයක් ඇත්තකු පමණක් නොව, ඉන්දු සෝවියට් ගගනගාමිණියකු ද වෙයි. වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගගන සක්සනක යෙදුණු ගගනගාමිය මැය වෙයි. අවස්ථා හතකදී මැය අභ්‍යවකාශ මෙහෙයුම්වලට සම්බන්ධ විය.
‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ හෙවත් ‘ඉස්රෝ’ ආරම්භ වූයේ 1969 වසරේ ඉන්දීය නිදහස් දිනය දා එනම් අගෝස්තු 15 ය. ඉන්දීය රුපියල් බිලියන 107.8 ක මුදලක් මෙහි කටයුතු වෙනුවෙන් යොදා ගැනෙයි. අභ්‍යවකාශ ආයතනය පිහිටුවීම සිදුවූයේ කීර්තිමත් ඉන්දීය විද්‍යාඥ වික්‍රම් සරබ්හානීගේ මූලිකත්වයෙනි. ඉන්දියාවේ බෙංගලූරු (පරණ නම බැංගලෝර්) නුවර ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ මූලස්ථානය පිහිටුවා ඇත.
ඉන්දියාවේ පළමු සඳ ගවේෂණ මෙහෙයුමට යොදා ගැණුනේ ‘චන්ද්‍රයාන් 1’ රොබෝ ගවේෂණ යානයයි. ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ මෙම චන්ද්‍රයාන් 1 සඳ ගවේෂණයට යැව්වේ 2008 වසරේ ඔක්තෝබරයේදීය. නොවැම්බර් 8 වැනිදා වනවිට යානය සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිසිණි. ‘චන්ද්‍රයාන් 1’ යානය 2009 තෙක් හොඳින් ක්‍රියාත්මක විය.
‘මංගල්‍යාන්’ යනු අඟහරු ගවේෂණයට ඉන්දියාව යැවූ රොබෝ ගවේෂණ යානයයි. මංගල්‍යාන් යනු කක්ෂීය ගවේෂණ රොබෝ යානයකි. 2014 වසරේ මෙය අඟහරුගේ කක්ෂයට ඇතුළු විය. තවමත් මෙම රොබෝ යානය අඟහරුගේ කක්ෂයේ රැඳෙමින් ඉන්දීය විද්‍යාඥයන්ට දත්ත ලබා දීම සිදු කරයි. මංගල්‍යාන් ගවේෂණ යානය 2013 නොවැම්බර් 5 වැනිදා පෘථිවියෙන් පිටත්ව අඟහරු බලා ගියේය. ඉන්දියාවේ පළමු අන්තර් ග්‍රහලෝක මෙහෙයුම මෙම මංගල්‍යාන් යානයේ ගවේෂණ මෙහෙයුම ලෙස සැලකෙයි.
අඟහරු ගවේෂණය අකාර දෙකකින් සිදුවෙයි. අඟහරුගේ කක්ෂයේ රැඳී හිඳිමින් කරන ගවේෂණ සහ අඟහරු මත ගොඩබා සිදු කරන ගවේෂණ ඒවාය. අඟහරු ගවේෂණයේ ඉදිරියෙන් සිටින්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන අවසන් වීමෙන් පසු, අඟහරු වෙත ගවේෂණ යානයක් සාර්ථකව යැවූ සිවුවැනි රට පෘථිවි අභ්‍යවකාශ ආයතනය වන්නේ ඉන්දියාවේ ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ හෙවත් ‘ඉස්රෝ’ ය. අඟහරු ගවේෂණයේදී නාසා ආයතනයට දෙවැනි වී සිටින්නේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි.
ඇස්ට්‍රෝසැට් යනු විශ්වය ගවේෂණය සඳහා ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ අභ්‍යවකාශයට යැවූ චන්ද්‍රිකාවකි. මෙය උඩු ගුවනය යැවුණේ 2015 සැප්තැම්බර් 28 වැනිදාය. කොස්මික් කිරණ ග්‍රහණය කර ගනිමින් පර්යේෂණ කටයුතු සිදු කරයි.
‘දකුණු ආසියා චන්ද්‍රිකාව’ උඩු ගුවනට යවනු ලැබුවේ 2017 මැයි 5 වැනිදාය. දකුණු ආසියානු කලපීය (ශ්‍රී ලංකාව ද ඇතුළත්ව) රටවල එකමුතුවෙන් නිර්මාණය කළ මෙම චන්ද්‍රිකාව එම රටවල පරිහරණය සඳහා පමණක් භාවිතා කෙරේ. 2014 නොවැම්බරයේ, 18 වැනි සාර්ක් සමුළුව පැවැත්වෙද්දී, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම චන්ද්‍රිකාව ගැන අදහස සාර්ක් රාජ්‍ය නායකයන්ට අනාවරණය කළේය.
‘ආර්යබාතා’ යනු ඉන්දියාවේ පළමු චන්ද්‍රිකාවය. මෙය උඩු ගුවනට යැවීම සිදු කළේ සෝවියට් දේශයේ උදවු ඇතිවය. ඒ, 1975 වසරේ අපේ්්‍රල් 19 වැනිදාය. ‘කොස්මෝස් 3 එම්’ සෝවියට් රොකට්ටුව ඒ සඳහා භාවිතා කෙරුණි. අද ඉන්දියාව කාගේවත් උදවුවක් නොමැතිව තනිවම චන්ද්‍රිකා ගුවන්ගත කරයි. ඒ, ඔවුන් විසින්ම නිපදවූ රොකට්ටු යොදා ගනිමිනි. ඇමෙරිකා, යුරෝපා, චීන, ජපන්, ලතින් ඇමෙරිකා, අප්‍රිකා, ආසියා ආදී රටවල් රැසක නොයෙක් නොයෙක් විදියේ චන්ද්‍රිකා ගුවන්ගත කරන්නේ ද ඉන්දියාවය.
ඉන්දියාව මේ වනවිට අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා යොදා ගත හැකි ආකාරයේ ෂටලයක් නිර්මාණය කර ඇති අතර, එය සාර්ථකව අත්හදා බැලූ බව ද පැවැසෙයි. මෙම ෂටලය නිර්මාණයට වසර පහක කාලයක් ගත වී තිබේ. මෙය සියයට සියයක්ම ඉන්දියාවේ නිෂ්පාදිත ෂටලයක් වීම සුවිශේෂී කාරණාවකි. ෂටලය නිර්මාණයට විද්‍යාඥයන්, ඉන්ජිනේරුවන් සහ තාක්ෂණවේදීන් ඇතුළු 600 කට වැඩි පිරිසකගේ දායකත්වය ලැබී ඇතැයි ද පැවැසෙයි. ෂටල යනු යළි යළි භාවිතා කර හැකි අභ්‍යවකාශ යානයකි. ගගනගාමීන් සහ භාණ්ඩ අභ්‍යවකාශයට (පෘථිවි කක්ෂයට) ගෙන යෑමටත් යළි පෘථිවියට ගෙන ඒමටත් ෂටල යොදා ගනී. මෙය අභ්‍යවකාශ බස් රියක් හා සමානය. ලොව වඩාත් ප්‍රකට ෂටල වැඩසටහන ක්‍රියාවට නැගුවේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. වසර 30 කට පසු එම ෂටල වැඩසටහන මීට වසර කිහිපයකට පෙර අවසන් විය. ෂටල සියල්ල විශ්‍රාම යැවීමට ඇමෙරිකන් රජය පියවර ගත්තේය.
ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ෂටලය පළමුවෙන් ලොවට හඳුන්වා දීම සිදු කෙරුණේ එරට කේරළ ප්‍රාන්තයේ කුඩා ධීවර ගම්මානයක් අසල පිහිටුවා ඇති ගුවන් යානා රැඳවුම් අංගනයකදීය. ඉන්දියාව ඔවුන්ගේ මෙම ෂටල වැඩසටහන ආරම්භ කළේ මීට දශකයකට පෙර, තිරුවාන්නන්තම්පුරම්හි වික්‍රම් සරාභානී අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගිනි. ඉන්දියාව ඔවුන්ගේ රොකට්ටු නිර්මාණය කරන්නේ ද මෙම මධ්‍යස්ථානය යටතේය. මීටර් 6.5 ක් දිග මෙම ෂටලය ටොන් 1.75 ක් බරැතිය. මෙම ෂටලය නිපදවීමට ඉන්දීය රුපියල් කෝටි 95 ක් වැය වී ඇත. තවම පර්යේෂණ මට්ටමින් මෙම ෂටල ඉදි කෙර්. පසුගිය 23 වැනිදා සාර්ථකව ගුවන් ගත කළේ ද පර්යේෂණ මට්ටමේ තිබුණු ෂටලයකි. මෙම ෂටල වාණිජ මට්ටමින් භාවිතා කිරීම 2030 දී සිදුවනු ඇතැයි ද පැවැසෙයි. ෂටලය ගුවන් ගත කෙරුණේ ඉන්දියාවේම නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙනි. ෂටලයක් ගුරුත්වාකර්ෂණ බලය බිඳ ඉහළ අභ්‍යවකාශයට යැවෙන්නේ අධි බලැති රොකට්ටු ආධාරයෙනි.
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි