සුපිරි සඳක්: චන්ද්‍ර ග්‍රහණයක් අද
අද නවම් පොහොය දා, තුන් විදියකට සඳ දිස්වනු ඇති බවත් මෙලෙස සඳ තුන් විදියකට දිස්වන්නේ වසර 152 කට පසු බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.
අද දිනයේ නීල සඳක් (බ්ලූ මූන්), ලෝහිත සඳක් (බ්ලඞ් මූන්) සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දකින්න ලැබෙයි. මෙවැනි අතිශය දුර්ලභ සංසිද්ධියක් මීට පෙර සිදුවී ඇත්තේ 1866 වසරේ යැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
චන්ද්‍ර ග්‍රහණයක් යනු චන්ද්‍රයා සහ සූර්යයා අතරට පෘථිවිය පැමිණීමය. පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත වැටීමෙන් චන්ද්‍රයා නොපෙනී යයි. 2018 වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය වනු ඇත්තේ ද මෙයයි.
මෙම පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ආසියානු රටවලටත්, ඕස්ටේ්රලියාවටත්, පැසිෆික් රටවල් කිහිපයකටත් උතුරු ඇමෙරිකාවටත් දකින්න ලැබෙයි. ශ්‍රී ලංකාවට දිස්වනු ඇත්තේ මෙම චන්ද්‍ර ග්‍රහණයේ අවසන් කොටස පමණක් යැයි ද පැවැසෙයි.
ඉංග්‍රීසි බසින් ‘වන්ස් ඉන් අ බ්ලූ මූන්’ යනුවෙන් පැවැසෙන්නේ ඉතා දුර්ලභ සිද්ධියකි. කෙසේ නමුත් මෙම ජනවාරිය සුවිශේෂීය. පසුගිය ජනවාරි පළමු වැනිදා ද නීල සඳක් දිස්විය. අද ජනවාරි 31 වැනිදා ද දකින්න ලැබෙන්නේ නීල සඳකි.
“නීල සඳක් යැයි කියන්නේ සඳ සැබෑමටම නිල් පැහැයෙන් දකින්න ලැබීමක් නොවෙයි. සඳ දීප්තිමත්ව, වෙනදාට වඩා විශාලව දකින්න ලැබීමයි. සාමාන්‍යයෙන් නීල සඳක් දැකිය හැකි වන්නේ මාස 8 ක් හෝ වසර දෙකකට වරක්. ඒත් මේ 2018 ජනවාරිය සුවිශේෂීයි.” යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අද නීල සඳ ලෙසින් සඳ සාමාන්‍යයෙන් පෙනෙන ප්‍රමාණයට වඩා සියයට 30 ක් විශාලව පෙනෙයි. ඒ, වෙනදාට වඩා සියයට 14 කින් සඳ පෘථිවි කක්ෂයට ළං වන නිසාය.
සුපිරි ලෝහිත සඳ යනුවෙන් පැහැසෙන්නේ සඳ සැබැවින්ම රතු පැහැ ගැන්වීමය. චන්ද්‍ර ග්‍රහණය සිදුවන්නේ ද මෙසේ සඳ රතු පැහැ ගැන්වෙද්දීය. ලෝහිත සඳ ද ආසියාවේ රටවල් කිහිපයකට, මැදපෙරදිග රටවලට, රුසියාවට, වයඹ දිග ඇමෙරිකාවේ ජනපද කිහිපයකට දකින්න ලැබේ. සඳ මේ අයුරින් රතු පැහැයෙන් පෙනෙන්නේ, පෘථිවි වායු ගෝලය හරහා වැටෙන හිරු රැස් නිසා යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
සඳ මෙසේ දීප්තිමත්ව, රතු පැහැයෙන් දිස්වීමත්, පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමත් හේතුවෙන් ඇතැම්හු බිය පළ කරති. මෙම දුර්ලභ මෙන්ම අසාමාන්‍ය සංසිද්ධිය මුල්කොට ගනිමින් වායුගෝලයේ කැළැඹීම් ඇතිවිය හැකි බවටත්, භූමි කම්පා හට ගන්නා බවටත් සාගරයේ කැළැඹීම් ඇති විය හැකි බවටත් බියක් නිර්මාණය වී තිබේ.
කෙසේ නමුත් නාසා ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සහතික වී ඇත්තේ කිසිදු ආපදා තත්ත්වයක් හෝ පාරිසරික විපර්යාසයක් හෝ සිදු නොවන බවය. කෙසේ නමුත් සඳ පෘථිවියට ළං වන හෙයින් වඩදිය බාදිය ඇතිවීමෙහි වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකි නමුත් එයින් කිසිවකුටත් අනතුරක් වීමේ අවදානමක් නැති බව ද නාසා ආයතය නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි. භූමි කම්පා හටගන්නේ පොළොව මතුපිට භූ තැටි එකිනෙක ගැටීම නිසා බවත් සඳේ කිසිදු සම්බන්ධයක් ඊට නැති බවත් නාසා විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.
(ඒ.එෆ්.පී.)