සඳ යළි ජීවයෙන් තොර වෙයි



චීනය සඳේ අඳුරු පැත්තට යානයක් පතිත කිරීම සහ එම කුඩා යනය තුළ සිලින්ඩරයක් බඳු කුඩා හරිතාගාරයේ එසේත් නැතිනම් ජෛවගෝලයේ තැම්පත් කළ කපු ඇට පැළ වීම අභ්‍යවකාශ ගවේෂණයේ සන්ධිස්ථානයක් විය.

සඳ මතුපිට බීජ රෝපණය වුණු පළමු අවස්ථාව මෙය විය. කෙසේ නමුත් අවාසනාවකට, එම කපු පැළ මියගියේය. ඒ, අවශ්‍ය පරිදි හිරු එළිය නොලැබීම සහ අධික සීතල නිසාය. ඒ අනුව යළිත් වරක් සඳ ජීවයෙන් තොර හුදෙලා තැනක් බවට පත් විය.

‘චැංග් ඊ 4’ චීන ගවේෂණ යානය, සඳේ අඳුරු පැත්තේ පතිත කරනු ලැබුවේ පසුගිය ජනවාරි 2 වැනිදාය. මිනිස් ගවේෂණ යානයක් සඳේ අඳුරු පැත්තට පතිත කළ පළමු අවස්ථාව මෙය විය. යානය ගොඩබෑමට සැලැස්වූයේ ‘වොන් කර්මාන්’ නමැති අති දැවැන්ත ආවාටයටය.  ‘චැංග් ඊ 4’ ගවේෂණ යානයට රොබෝ රෝවරයක් ද ඇතුළත් විය. එම රෝවර් යානය, මේ වනවිට ‘වොන් කර්මාන්’ ආවාටයේ සැරිසරමින්  ගවේෂණයේ යෙදෙයි.

‘චැංග් ඊ 4’ යානය තුළ බීජ තැම්පත් කර ඇත්තේ, කිලෝ ග්‍රෑම් 2.6 ක සුවිශේෂ සිලින්ඩරයකි. සිලින්ඩරයේ ඇත්තේ කපු බීජ පමණක් නොවෙයි, අර්තාපල්, බෝංචි සහ ගෝවා පමණක් නොව, මැස්සන් සහ පණුවන්ගේ බිත්තර ද අඩංගු වෙයි. මේවාට ජලය ලබා දීම සිදුවන්නේ යානයේ ඇති ජල ටැංකියකිනි. පිටතට නිරාවරණය කර ඇති බැවින් එළිය පිටතින් සිලින්ඩරයට ලබා ගැනීම සිදුවිය. කපු පැළ මියගියේ ලැබෙන එම හිරු එළිය නිසි පරිදි නොලැබීම සහ අධික සීතල නිසාය.

මේ බව මාධ්‍ය හමුවේ අනාවරණය කළේ, චීනයේ චොංග්කිංග් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ පර්යේෂකයන්ය. චීන ගගන පර්යේෂණ ආයතනය මගින් ආරම්භ කළ මෙම චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමට චොංග්කිංග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ රැසක් සම්බන්ධ වී සිටිති. මියගොස් කුණු වන පුංචි පැළ කිසිවක් සඳ මතුපිටට වැටෙන්නේ නැති බවත් ඒවා සිලින්ඩරය තුළම තැම්පත් වී තිබෙනු ඇති බවත් චීන විද්‍යාඥයෝ වැඩි දුරටත් පෙන්වා දුන්හ.

සඳේ අඳුරු පැත්තට අධික සීතල සහ ප්‍රමාණවත් හිරු එළිය නොලැබීම, ගුරුත්වාකර්ශණය අඩුවීම
විකිරණශීලීබව ඉහළ යෑම පමණක් නොව උෂ්ණත්වය කැපී පෙනෙන ආකාරයට වෙනස්වීම මුල්කොට ගනිමින් බීජ පැළ කිරීම සැබැවින්ම අභියෝගයක් බවත්, දින කීපයකට පමණක් හෝ කපු ඇට පැළවීම අසීරු අභියෝගයක් ජය ගැනීම බවත් චීන විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.  කෙසේ නමුත් ලැබූ එම කෙටි සාර්ථකත්වය ගැන සතුටු විය හැකි බවත්, අනාගතයේ සඳ මතුපිට වගාවක් ආරම්භ කිරීමට මූලික පියවර ගැනීම තමන් විසින් සිදු කරනු ලැබූ බවත් චීන විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

සඳ පෘථිවිය වටා වරක් පරිභ්‍රමණය (තමන් වටේ කැරැකීම) වීමට දින 27 යි පැය 7 යි මිනිත්තු 43 1/4 ක් ගත වන අතර, තම කක්ෂය වටා වරක් යෑමට ද සඳට එම කාලයම ගත වෙයි. එහෙයින්, පෘථිවියට පෙනෙන්නේ සඳේ එක් පැත්තක් පමණය.

අනෙක් පැත්ත නොපෙනෙන පැත්ත, නොපෙනෙන කලාපය සහ අඳුරු පැත්ත ආදී නම්වලින් හැඳින්වෙයි අතීතයේ සෝවියට් රුසියානුවන් මෙම අඳුරු පැත්ත ගවේෂණයට යානායක් යවා ඇත. කෙසේ නමුත් අඳුරු පැත්තට පළමුවෙන් යානයක් ගොඩ බෑමට සැලැස්වූයේත්, ගවේෂණ කටයුතු ආරම්භ කළේත් චීනයයි.

රොයිටර්ස් ඇසුරිනි


RECOMMEND POSTS