වසංගතයක් වුණු ‘කොවිඩ් 19’



‘ද්විත්ව වසරක දී, නැගෙනහිරින් රැජිනක හිස ඔසවාවි.
කඳු හතකින් සමන්විත දේශයට ඇය වසංගතයක් වේවි.
හිමිදිරිය අඳුරු කරමින් මිනිසුන් දූවිලි බවට පත් කරාවි.
එයින් මුළු ලෝකයම වැනසේවි’.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, කොරෝනා නමින් හැඳින්වෙන වයිරස පවුලේ අලුත්ම සාමාජිකයා ය. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරසයකි. ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන්න ඇත්තේ අතරමැදි සත්වයකු හරහා බව අනුමාන කෙරේ. එම අතරමැදියා කබල්ලෑවා යැයි ද සැකයක් පවතී. සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමෙන් පසු වයිරසය ඉවක් බවක් නොමැතිව මිනිසුන් අතරේ පැතිරෙන්නේ විකෘති වීමෙනි. චීනයේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව කෙමෙන් පහළ යද්දී, ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ වයිරසය දරුණු ලෙස පැතිරෙයි. අද චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාව තව දුරටත් ලෝක බලවතා නොවන බව චීන වයිරසය අපට ඒත්තු ගන්වා ඇත. වයිරසයට තවමත් ප්‍රතිකර්මයක් සොයාගෙන නැත. එයි සුලමුල සොයා දිගටම විමර්ශන පැවැත්වෙයි. වයිරසය ආසාදනය වූ පළමු ආසාදිතයා (ඉංග්‍රීසියෙන් මෙම ආසාදිතයා හැඳින්වෙන්නේ පේෂන්ට් සීරෝ යනුවෙනි) සොයා ගතහොත් වයිරසයට ප්‍රතිකර්මයක් සෙවීම පහසුවක් වෙයි.

වයිරයේ ආරම්භය සහ ව්‍යාප්තිය ඇරැඹුණේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් සත්ව හා මත්ස්‍ය වෙළෙඳපොළෙන් බව තහවුරු වී ඇත. මුල්ම රෝගීන් සහ මෙම වෙළෙඳපොළ අතරේ සම්බන්ධයක් පවතින බව ද තහවුරු වී ඇත. ‘පේෂන්ට් සීරෝ’ ලෙස මෙම වෙළෙඳපොළේ වෙළෙන්ඳියක හඳුනා ගැනීමට වූහාන් සෞඛ්‍ය බලධාරීන් සමත් වී ඇති බව චීන පුවත් සේවා පමණක් නොවෙයි, ඇමෙරිකන් පුවත් සේවා ද වාර්තා කර තිබේ. ‘පේෂන්ට් සීරෝ’ ලෙස හඳුනා ගත් මෙම තැනැත්තිය 57 හැවිරිදි වෙයි ගුවිසියන් ය. මැය වූහාන් නුවර මාළු වෙළෙඳසැලේ කූනිස්සන් වෙළෙන්ඳියකි. කාන්තාව වෙළෙඳපොළේ කූනිස්සන් අලෙවි කරමින් සිටිද්දී රෝගී වී ඇත. ඇය සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, ඇය භාවිත කර ඇත්තේ ද වෙළෙඳපොළේ පොදු වැසිකිළියයි. වෙළෙඳපොළේ වෙළෙන්ඳන් අතරේත්, වෙළෙඳපොළෙට පැමිණෙන වෙනත් පුද්ගලයන් අතරේත් රෝගය ව්‍යාප්ත වන්න ඇත්තේ ඒ අනුව යැයි සැක කෙරේ. දෙසැම්බර් 31 දා වූහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව මෙම කාන්තාව වයිරස ආසාදිතයකු බව තහවුරු කර ඇත. කාන්තාව රෝගී වූ අයුරින්ම රෝගී වී රෝහල්ගත කළ 27 දෙනකුගෙන් 24 දෙනකුට කාන්තාව කූනිස්සන් විකිණීම කර ඇති බව විමර්ශනයේදී තහවුරු විය. වූහාන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ පැවැසුවත් වෙයි ගුවිසියන්, ‘පේෂන්ට් සීරෝ’ යැයි චීන සෞඛ්‍ය බලධාරීන් නිල වශයෙන් අනාවරණය කර නැත. ඔවුන් වූවාන් සෞඛ්‍ය බලධාරීන්ට පවසා ඇත්තේ වයිරසයේ සුලමුල සොයමින් දිගටම විමර්ශන කටයුතු සිදු කරන ලෙසටය. රෝගී වූ වෙයි ගුවිසියන් මාසයක් යද්දී සම්පුර්ණයෙන් සුවය ලැබුවාය.


“පසුගිය දෙසැම්බර් 10 වැනිදා, මට මහන්සි ගතියක් දැණුනා. මෙම වසරේත් දෙසැම්බරයේ සීතල කාලගුණයක් තිබුණා. ඒත් වෙනදාට වඩා මට මහන්සියක් දැනෙන්න වුණා. අසනීප ගතියක් දැනෙන්න වුණා. මා සායනයට ගියා බෙහෙත් ගන්න. බෙහෙත් ගත්තට පස්සේ මා සුපුරුදු පරිදි වෙළෙඳාමේ ගියා. මාගේ රෝගී තත්ත්වය උත්සන්න වුණා. මා වූහාන් ප්‍රාදේශීය රෝහලට ගියා ප්‍රතිකාර ගන්න. මගේ අසනීප තත්ත්වය හඳුනා ගන්න බැහැ වෛද්‍යවරුන් කීවා. ඒත් ඔවුන් මට බෙහෙත් දුන්නා.” යැයි වෙයි ගුවිසියන් ඇගේ අත්දැකීම් විස්තර කර තිබේ.

“දින පහක් යද්දී මට සිහිය නැතිවුණා. දෙසැම්බර් 16 වැනිදා වූහාන් යූනියන් රෝහලේ දී මා ඇතුළත් කෙරුණා. එහිදී මා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. මගේ රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් කිහිප දෙනකු වාර්තා වී ඇති බව වෛද්‍යවරුන් මට පැවැසුවා.” යැයි වෙයි ගුවිසියන් පැහැදිලි කරයි. වෙයි ගුවිසියන් රෝගී වුවත්, ඇගේ සැමියා, දියණිය, පුතා සහ ලේලිය රෝගී වී නැත. පැතිර යන හඳුනා නොගත් වයිරසය සමඟ වූහාන් සත්ව හා මුහුදු ආහාර වෙළෙඳපොළේ සම්බන්ධයක් ඇති බව අනාවරණය වෙද්දී, එම වෙළෙඳපොළ කඩිනමින් සීල් තැබුණි. පැතිර යන්නේ කෙරෝනා වයිරස පවුලේ මෙතෙක් හඳුනා නොගත් වයිරසයක් බව තහවුරු වූයේ දෙසැම්බර් 31 වැනිදා ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානය ඊට යොමු වූයේ ඉන්පසුවය. දෙසැම්බර් 31 වනවිට වූහාන් කේන්ද්‍රකොට ගනිමින් වාර්තා වූ වයිරස ආසාදිතයන් ගණන 266 ක් විය. එය කෙමෙන් කෙමෙන් වැඩිවෙමින් වසංගත තත්ත්වයක් දක්වා දුරදිග ගියේ ඉන්පසුවය.

නව කොරෝනා වයිරසය මේ වනවිට ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ 200 කට වඩා පැතිර ගොස් ඇත. ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවල මරණ අඩුවන බවක් පෙනෙන්න නැත. මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල් තවමත් සම්පූර්ණයෙන් වසා දමා ඇත. නවසීලන්තය, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව ආදී රටවලින් ද දිනපතා ආසාදිතයන් හමුවෙයි.

වයිරසය හේතුවෙන් ලොව පුරා නිවෙස්වලට කොටු වුණු සංඛ්‍යාව බිලියන 3 කට වැඩිය. එම පිරිස වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩෝස් ඇඞ්හැනොම් උපදෙස් මාලාවක් ලබා දී ඇත්තේ ඔවුන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමේ අරමුණ ඇතිවය. ‘දැන් ඉතිං අප සැවොම ප්‍රතිශක්තිකරණය වර්ධනය වන ආකාරයේ ආහාර රටාවකට හුරු වීම වැදගත්. මත්පැන් සහ පැණි බීම අවම කරන්න. දුම් පානය නවත්වන්න. වැඩිහිටියන් මිනිත්තු 30 ව්‍යායාම කළ යුතුයි. කුඩා දරුවන් නම් පැයක් ව්‍යායාම කළ යුතුයි. පුද්ගලයන් අතරේ ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම කළ යුතුයි. නිවසින් පිටවීමට බැරි නිසා නිවසේ ඉන්න සිංදු අහන්න, නටන්න, යෝගී ව්‍යායාම කරන්න. පඩිපෙළක් තිබෙනවා නම් උඩට පහළට ඇවිදින්න. නිවසේ සිට රැකියාව කරනවා නම්, සෑම මිනිත්තු 30 කටම වරක් මිනිත්තු 3 ක විවේක ගන්න. මේ ව්‍යසනය ගැන සිතමින් ඔළුව වෙහෙසන්න එපා. සංගීතයට සවන් දෙන්න. පොත් කියවන්න. නිවස තුළ ක්‍රීඩාවක් කරන්න. සාමන්‍යයෙන් මෙවැනි වසංගත තත්ත්වයකදී අප බියට පත් වෙනවා. අපේ ආතතිය වැඩිවෙනවා. ලෙඩ වේවි යැයි අපට බියක් ඇති වෙනවා. සිත අවුල් කර ගන්න එපා. සත්‍ය පුවත් වගකීමක් සහිත මාධ්‍ය ආයතන නිකුත් කරන පුවත්වලට පමණක් කන් දෙන්න. එසේ පුවත් අසනවා නම් නරඹනවා නම්, දිනකට දෙවරක් පමණක් ඒක කරන්න. නිතරම මෙම ව්‍යසනය ගැන පුවත් ඔළුවට දාගන්න එපා.’යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩෝස් ඇඞ්හැනොම් පෙන්වා දී ඇත.

වයිරස යනු පියවි ඇසට නොපෙනෙන, බැක්ටීරියාවලටත් වඩා ඉතා කුඩා, රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් විශේෂයකි. ලතින් බසින් ‘වයිරස්’ යනු විෂ යන අදහසය. පණ ඇති බැක්ටීරියා මෙන් නොව, වයිරසවල ස්වභාවය වෙනස්ය. අප අවට පරිසරයේ වයිරස ඇත්තේ අජීවී දෙයක් ලෙසය. කිසියම් ජීවියකුගේ (සතකුගේ හෝ මනුෂ්‍යයාගේ) සිරුරට ඇතුළු (ආසාදනය) වූ විට වයිරස පණ ඇති දෙයක් බවට පත් වෙයි. දිලීර සහ බැක්ටීරියා පවා ආසාදනය කිරීමට වයිරසවලට හැකියාව ඇත. 1892 වසරෙන් පසු මේ වනවිට වයිරස වර්ග 5,000 කට වඩා සොයාගෙන ඇත. ඊට අමතරව, හඳුනා නොගත් වයිරස විශේෂ මිලියන ගණනක් තිබෙන බව විද්‍යාඥයෝ කියති. වයිරස න්‍යෂ්ටියේ අම්ල සංයුතියට අනුව ඒවා ප්‍රධාන වශයෙන් ඩීඑන්ඒ සහ ආර්එන්ඒ වර්ග දෙකකි. පැපොල, සරම්ප, වසූරිය ආදිය ඩී.එන්.ඒ. වයිරස වෙයි. ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා ආදිය ආර්.එන්.ඒ. වයිරස වෙයි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නැසීමට මේ වනවිට ලොව පුරා රටවල් රැසක ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ ආයතනවල එන්නත් 44 ක් නිර්මාණය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ආසාදිතයන්ගේ සිරුරේ වයිරසය විනාශ කිරීමටත්, වයිරසය ආසාදනය වීම වැළැක්වීමටත්, මෙසේ එන්නත් නිර්මාණය වෙමින්  පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. බැක්ටීරියා ආසාදනවලට මෙන් නොව, වයිරස ආසාදනවලට බෙහෙත් නොමැත. ඊට හේතුව වයිරස ආසාදන මනුෂ්‍යයන් අතරේ බෝ වෙමින් පැතිරෙන්නේ, විකෘති වෙමිනි. ‘කොවිඞ් 19’ සඳහා එන්නතක් නිපදවීම අසීරු වී ඇත්තේ මේ නිසාය.

කෙසේ නමුත්, ‘කොවිඞ් 19’ වයිරසයේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත. එපමණක් නොව, වයිරසය කෘත්‍රිමය නිපදවීමට ඕස්ටේ්‍රලියානු වෛද්‍ය පර්යේෂකයන් සමත් වී ඇත. ඒ අනුව, ‘කොවිඞ් 19’ සඳහා එන්නතක් නිර්මාණය වනු ඇති බවත්, ඒ සඳහා තව මාස 6 ක් හෝ අවුරුද්දක් හෝ ගත වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා තිබේ. ‘කොවිඞ් 19’ වයිරසය නිසා සංකූලතා ඇතිවෙයි. ආසාදිතයන් බොහෝ දෙනකු මියයන්නේ පෙනහලු ආසාදනය වී නිව්මෝනියා තත්ත්වයෙනි. මෙම සංකූලතා මඟහරවා ගැනීමට විවිධාකාරයේ ඖෂධ ලබා දීමක් සිදුවෙයි.  ඒ සියල්ලටම වඩා සාර්ථක වී ඇත්තේ රුධිර ප්ලාස්මා ප්‍රතිකර්මයයි. වයිරසය ආසාදනය වී සුව වූ පුද්ගලයන්ගේ රුධිර භාවිතයට ගනිමින් රුධිර ප්ලාස්මා ප්‍රතිකර්මය සිදු කරයි.

මේ අතර, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මහා බි්‍රතානයයේ වෙසෙන කීර්තිමත් තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් හරි අපූරු අදහසක් පළ කර තිබුණි. ඒ, බි්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියට ය. ‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ වූයේ පසුගිය දෙසැම්බරයේ ය. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පැහැදිලි කර ඇත්තේ, ඔක්තෝබරයේ පෘථිවියට කඩා වැටුණු ධූ    ම කේතුවක් (වල්ගා තරුවක්) මෙම ආගන්තුක වයිරසය පෘථිවියට රැගෙන එන්න ඇති බවය. පසුගිය 2019 වසරේ ඔක්තෝබර් 11 වැනිදා රාත්‍රී 12.16 ට ධූම කේතුව පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බව මහාචාර්යවරයා පවසයි. වායුගෝලයට ඇතුළු වී, ධූම කේතුව පුපුරා යද්දී, තුනී කාබන් දූවිල් අංශු ටි්‍රලියන සිය ගණනක් පෘථිවි වායුගෝලයට මුසු වී තිබේ. එම අංශු අතරේ වූ වයිරස විෂබීජ ඉන්පසු සතුන් හරහා මනුෂ්‍යයන්ට හෝ මනුෂ්‍යයන් හරහා හෝ ව්‍යාප්තිය ආරම්භ වන්න ඇතැයි මහාචාර්යවරයාගේ අදහස වී තිබේ. පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී සියල්ල දැවී විනාශ වෙයි. එහෙයින්, පිටසක්වළ වයිරසයක් පෘථිවියට පැමිණීමේ අවදානම ඉතා අඩු යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබේ.

මීට අමතරව, ‘කොවිඞ් 19’ හා සම්බන්ධ ඇමෙරිකාවේ මහාචාර්යවරයකු ගැන ද කසුකුසුවක් පසුගිය දා හටගත්තේය. පසුගිය ජනවාරි 28 වැනිදා වනතුරු, ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයකු වන චාල්ස් ලයිබර් ගත කළේ බොහොම නිහඬ ජීවිතයකි. ලයිබර්ගේ රසායනාගාරය පිහිටා ඇත්තේ හාවඞ් විශ්ව විද්‍යාලයේය. 60 හැවිරිදි ලයිබර්, හාවඞ් විශ්ව විද්‍යාලයේ රසායන සහ  ජීව විද්‍යා අංශයේ ප්‍රධාන විද්‍යාඥයාය. වසර 2000 සිට 2010 කාලයේ ලොව ප්‍රධාන පෙළේ රසායන විද්‍යාඥයා ලෙස කාගේත් පිළිගැනීමකට ලක් වූයේ මොහුය. මොළයේ ඉලෙක්ට්‍රෝන ක්‍රියාකාරීත්වය සහ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් මහාචාර්ය ලයිබර් පළ කළ අදහස් විද්‍යාවේ නව පරිච්ඡේදයක් විය. ලයිබර්ගේ විනෝදාංශය වූයේ ගෙවත්තේ වට්ටක්කා වගා කිරීමය. ජනවාරි 28 වැනිදා, එෆ්.බී.අයි. කාර්යාංශයේ නිලධාරීන් හිටිහැටියේ පැමිණ ලයිබර් අත්අඩංගුවට ගත්තේය. ලයිබර් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සහ ඒ සම්බන්ධ පසුබිම් කතාව කෙරෙහි ලොව කාගේත් උනන්දුවක් ඇති විය. සමාජ මාධ්‍ය ඔස්සේ ද ඒ ගැන කසුකුසුවක් ඇති විය. ලයිබර්, චීනයේ වූහාන් නුවර විශ්ව විද්‍යාලයක් සමඟ රහසේ ගනුදෙනුවක් පවත්වා ඇත. එෆ්.බී.අයි. නිලධාරීන් ලයිබර් අත්අඩංගුවට ගත්තේ එහෙයිනි.  වූහාන් නුවර ලොව කාටත් ආගන්තුව නැත. ‘කොවිඞ් 19’ වයිරස වසංගතයේ ඇරැඹුම වූහාන් ය. වූහාන් නුවර ජෛව රසායනාගාර රැසකි. ‘කොවිඞ් 19’ ජීව අවියක් බවත්, එය අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර ගිය බවටත්, දැන් එය මුළු ලොව පුරා ව්‍යාප්ත වන බවටත් සැකයක් ද පවතී.

වූහාන් නුවර විශ්ව විද්‍යාලයක් මහාචාර්ය ලයිබර්ගේ සේවය ලබා ගෙන ඇත. තම දැනුම බෙදා දීම වෙනුවෙන්, මහාචාර්යවරයා මාසිකව ඇමෙරිකන් ඩොලර් 58,000 ක මුදලක් ලබා ගෙන තිබේ. ඊට අමතරව, ජීවන විදයමක් වශයෙන් මාසිකව මහාචාර්යවරයාට ලැබී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් 1,58,000 කි. මෙතරම් විශාල මුදලක් ලබා දීමට, මහාචාර්යවරයා එම වූහාන් විශ්ව විද්‍යාලයට විශාල සේවයක් කර ඇති බව පැහැදිලිය. මහාචාර්යවරයා තම සේවය එම චීන විශ්ව විද්‍යාලයට ලබා දී ඇත්තේ හාවඞ් විශ්ව විද්‍යාලයේ සිය ප්‍රධානීන්ට හොරෙනි. ඇමෙරිකන් බුද්ධි අංශ මේ බව අනාවරණය කර ගැනීමත් සමඟ එෆ්.බී.අයි. කාර්යාංශය මහාචාර්යවරයා අත්අඩංගුවට ගත්තේය. ඒ සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ විය. ඒ, ලොවට වින කරන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නිර්මාතෘවරයා මහාචාර්ය චාල්ස් ලයිබර් යැයි පවසමිනි. ඇමෙරිකන් ජාතික මහාචාර්යවරයා චීන ඔත්තුකරුවකු ලෙස, ඇමෙරිකාවට එරෙහිව ක්‍රියා කළේ යැයි මේ වනවිට චෝදනා ගොනු වී ඇත. කෙසේ නමුත් ‘කොවිඞ් 19’ වයිරසය සහ ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ පීටර් ලෙවිට් පවසා තිබේ.

අවසන් වශයෙන්, මේ සටහන ආරම්භ කළ තැනට යමු.

‘ද්විත්ව වසරක දී, නැගෙනහිරින් රැජිනක හිස ඔසවාවි.
කඳු හතකින් සමන්විත දේශයට ඇය වසංගතයක් වේවි.
හිමිදිරිය අඳුරු කරමින් මිනිසුන් දූවිලි බවට පත් කරාවි.
එයින් මුළු ලෝකයම වැනසේවි’

මේ වදන් පෙළ මේ දිනවල ෆේස්බුක් ඇතුළු අන්තර් ජාලයේ අතිශය ජනප්‍රියය. සිංහලට නැගූ මෙම වදන් සමාජ ජාල ඔස්සේ පළ වන්නේ ඉංග්‍රීසියෙනි. මෙය ප්‍රංශ ජාතික නොස්ත්‍රදාමුස් කළ අනාවැකියක් යැයි පැවැසෙයි. 1555 දී නොස්ත්‍රදාමුස් කී අනාවැකි රැසක් සඵල වී ඇත.

නොස්ත්‍රදාමුස්ගේ අනාවැකි පළ වන්නේ ඔහු විසින් ප්‍රංශ බසින් ලියනු ලැබූ ‘ල ප්‍රෙපෙසීස්’ නමැති ග්‍රන්ථයේය. ඉහත දැක්වෙන අනාවැකිය මෙසේය. ‘ද්විත්ව වසර’ යනු 2020 වසර ය. නැගෙනහිරින් හිස ඔසවන රැජින යනු චීනයෙන් ආරම්භ වන කොරෝනා වයිරසය යි. නැගෙනහිර යනු චීනයයි. වයිරසය කොරෝනා යනුවෙන් නම් කර ඇත්තේ එහි ස්වභාවය ඔටුන්නක හැඩය ගන්නා නිසාය. ‘කඳු හතකින් සමන්විත දේශය’ ඉතාලියයි. මෙය සැබැවින්ම අපූරු අනාවැකියකි. කෙසේ නමුත් ‘ල ප්‍රෙපෙටීස්’ ග්‍රන්ථයේ අනාවැකි අතර, මෙවැනි අනාවැකියක් පළ නොවන බව ප්‍රංශ සාහිත්‍යවේදීන් සහ ඉතිහාසඥයන් පෙන්වා දී තිබේ. එසේ නම් මෙය හුදෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වන අපූරු සිතුවිල්ලක් පමණි.

‘ඬේලිමේල් ඇසුරිනි’


RECOMMEND POSTS