දකුණු ආසියාව කලඹන අයි.එස්. ත්‍රස්තයෝ



මෙම සටහනට පාදක වන්නේ, නවදිල්ලියේ, දකුණු ආසියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රස්තම් අලී සීරාත් සහ ජෝන් අරෝකිරාජ් පසුගිය 26 වැනිදා ‘ද ජියෝ පොලිටික්ස්’ වෙබ් අඩවියට ‘අයිසිස් ඉන් සවුත් ඒෂියා’ නමින් පළ කළ දේශපාලනික විග්‍රහයයි.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ කොළඹ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය එසේ මෙසේ එකක් නොවෙයි. 300 කට ආසන්න පිරිසකට මරු කැඳවමින්, 500 ක රෝහල් ගත කළ එම ප්‍රහාරය පසුගිය දශකයේ සිදුවුණු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයයි. අයිසිස් (අයි.එස්.අයි.එස්.) හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් සිරියා’ ත්‍රස්ත සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාර ගත්තේය.

පසුගිය මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකට එල්ල වූ වෙඩි ප්‍රහාර එල්ල විය. වෙඩි තැබිම කළේ ඕස්ටේ්‍රලියානු ජාතික සුදු අන්තවාදියෙකි. සුදු ජාතිකයා කළ එම ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස, පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට පහරදීමක් කළ බව පැවැසුණත්, ප්‍රහාරයේ වගකීම බාරගත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඒ බව තහවුරු කර නොමැත. ඉතා සැලැසුම්සහගතව, මහා විනාශයක් කළ පාස්කු ඉරිදා ප්‍රහාරය කිසිසේත් සුළුකොට තැකිය නොහැක. මන්ද, ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය භූගෝලීය දේශපාලනික වශයෙන් මුළු මහත් දකුණු ආසියාවට විශාල බලපෑමක් සිදු කිරීමට සමත් වී තිබේ.

ඉරාකයෙන් සහ සිරියාවෙන් අඩපණ වුණු අයි.එස්. ත්‍රස්ත සංවිධානය, ඔවුන්ගේ බලය පෙන්වීමට තෝරා ගෙන ඇත්තේ දකුණු ආසියාව බව ශ්‍රී ලංකාවට එල්ල වූ මෙම ප්‍රහාරවලින් තවත් පැහැදිලි වෙයි.  අයි.එස්. සංවිධානය ලොව බිහිසුණු මෙන්ම බලවත් ත්‍රස්ත සංවිධානය බවට පත් වූයේ 2014 දී සිරියානු යුද්ධයත් සමඟය. අයි.එස්. ත්‍රස්තයන්ගේ ආරම්භය වසර ගණනාවක් ඈතට දිවයයි. කෙසේ නමුත් 2003 දී ඇමෙරිකන් හමුදා ඉරාකයේ සදාම් හුසේන් පාලනය පෙරළා දැමූ අවස්ථාවේදී, සදාම් හුසේන්ගේ බාත් දේශපාලන පක්ෂ සාමාජිකයන් අයි.එස්. නමැති කුඩා ඉස්ලාමීය අන්තවාදී කල්ලිය සමඟ එක් වී සිටි අතර, මොවුන් අල් කයිඩාවට සහාය දක්වන්න විය. සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව විපක්ෂ කණ්ඩායම් අවි අතට ගැනීමත් සමඟය. එවකට ඇමෙරිකන් ජනාධිපති වූයේ බැරැක් ඔබාමාය. ඇමෙරිකාව, ප්‍රංශ සහ බි්‍රතාන්‍යය අවි ආයුද දෙමින් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් ශක්තිමත් කළේය. අයි.එස්. ත්‍රස්තවාදීන් අසල්වැසි ඉරාකයේ සිට සිරියාවට පැමිණි අතර බටහිරින් ලැබුණු අවි ආයුධවලින් ඔුවන් ශක්තිමත් විය. බිහිසුණු අන්තවාදී ප්‍රතිපත්ති නිසා අල් කයිඩාව, අයි.එස්. සංවිධානය සමඟ සබඳතා අත්හැරියේය. ඒ අනුව අයි.එස්. කල්ලිය ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් ලෙස නැගී සිටීම ඇරැඹිණි.

තමන් අල්ලා ගත් ප්‍රදේශ එක් කරමින් අයි.එස්. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍යය පිහිටුවීය. අබු බකර් අල් බැග්ඩෑඩිගේ නායකත්වය යටතේ අයි.එස්. සංවිධානය ශක්තිමත් වූයේ ලොව නන්දෙසින් මුස්ලිම් තරුණ තරුණියන් සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය සමඟ එක් වීමෙනි. අල්ලාගත් බටහිර සොල්දාදුවන්, වෛද්‍යවරුන්, සහන සේවකයන්, මාධ්‍යවේදීන් දණ ගස්වා, බෙලි කපා ඝාතනය කරමින් අයි.එස්. ත්‍රස්තයෝ ඔවුන්ගේ භීෂණය ප්‍රදර්ශනය කරන්න විය. බටහිර රටවල අයි.එස්. මුස්ලිම් වැසියන් තම තමන්ගේ රටවල ප්‍රහර සිදු කරන්න විය. ප්‍රංශයේත් මහා බි්‍රතාන්‍යයේත් බිහිසුණු අයි.එස්. ප්‍රහාර සිදුවිය. 2014 වසරේ අයි.එස්. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ඉස්ලාම් දේශය පිහිටුවීමේ අදහස ප්‍රචලිත කරද්දී,  ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදී රටවලින් ද මුස්ලිම් වැසියන් සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය සමඟ අත්වැල් බැඳ ගත් බව බුද්ධි අංශ අනතුරු ඇඟවීය.

ඊට අමතරව, මැදපෙරදිග, අප්‍රිකා සහ ආසියා රටවල ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලි එක පයින්, අයි.එස්. සංවිධානයට සහාය දීමට ඉදිරිපත් විය. මුළුලෝකම ආවරණය වන අයුරින් අයි.එස්. සංවිධානය පිහිටුවීමට බලාපොරොත්තු වන ඉස්ලාමීය රාජ්‍යයට තමන් ද සහාය දෙන බවට එම ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි ප්‍රතිඥා දුන්නේය. අද වනවිට පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව ආදී මුස්ලිම් රටවල අයි.එස්. හිතවාදී මූලධර්මවාදී ත්‍රස්ත කල්ලි ක්‍රියාත්මක වෙයි. කිතුනු දේවස්ථාන ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවයි. පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ගුටරේට්ස්, ‘මානව හිමිකම් පැත්තකට දමා’ එම ත්‍රස්ත කල්ලි මැඩලීමට හමුදාව මෙහෙයවයි.

ඉරාකයේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ බිඳ වැටීම සිදුවුණු බව ඉරාක රජය ප්‍රකාශ කළේ 2018 දීය. ඒ සඳහා ඉරාක රජයට ඇමෙරිකාවේ, ඉරානයේ සහ කුර්දිස්ථාන සටන්කාමීන්ගේ සහාය හිමිවිය. සිරියාවෙන් අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කළේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවේදනය කළේ පසුගිය පෙබරවාරියේය. සිරියානු අර්බුදයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සිරියානුවට සහාය දැක්වීය. ඊට එක් හේතුවක් වූයේ මැදපෙරදිග කලාපයේ ඇති එකම රුසියානු හමුදා කඳවුර සිරියාවේ පිහිටුවා තිබීමය. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය ෂියා මුස්ලිම්ය. අයි.එස්. සංවිධානය සුන්නි මුස්ලිම්ය. එහෙයින්, සිරියානු සටන් බිමට, ඉරානය ඔවුන්ගේ හමුදා එවීය. සිරියාවේ අසල්වැසියකු වන තුර්කිය ද හමුදාව එව්වේ අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහිව සටන් කිරීමටය. ඇමෙරිකාවේ පොදු සතුරා අයි.එස් වුවත්, අයි.එස්. පරාජය කිරීමට ඇමෙරිකාව එක් වූයේ කුර්දි සටන්කාමීන් සමඟ පමණය.

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය සංකල්පය බිඳ වැටුණත්, අයි.එස්. සංවිධානය අඩපණ වූබව පැවැසුවත් ඔවුන්ගෙන් ලොවට ප්‍රබල අනතුරක් ඇති බව ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඇතුළු බුද්ධි අංශ රැසක් අනතුරු අඟවන්න විය. දේශපාලනික අස්ථාවරත්වය සහ කඹ ඇඳිලි හේතුවෙන් රටේ ආරක්ෂක තත්ත්වය දුර්වල මට්ටමක පැවැති බැවින්, අයි.එස්. ත්‍රස්ත සංවිධනයේ හිතවාදීන්ට පාස්කු ඉරිදා (පසුගිය 21) ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් පහරදීම පහසුවක් වූ බව ජගත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

දකුණු ආසියාවේ ප්‍රධාන පෙළේ මූලධර්මවාදී ඉස්ලාමීය කල්ලි රැසකි. ඇෆ්ගනිස්තානයේ තලේබාන්, පාකිස්තානයේ ලෂ්කාර් ඊ ජංගාවි, ලෂ්කාර් ඊ තයිබා, ජයේෂ් ඊ මොහොමද් ඒවායින් කිහිපයකි. (ලෂ්කාර් ඊ ජංගාවි, ජයේෂ් ඊ මොහොමද් පාකිස්තාන රජයේත් එරට බුද්ධි අංශයේත් අනුග්‍රහය සහ සහාය ලබන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි යැයි පැවැසෙයි.) ඉරාකයේ සහ සිරියාවේ ප්‍රචණ්ඩත්වය පතුරුවද්දී, අයි.එස්. ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සමඟ එක් විය. පැවැති අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් තලේබාන් සංවිධානය ද දෙකඩ විය. අද තලේබාන් සංවිධානයත්, තලේබාන් සහ අයි.එස්. සංවිධානයත් වෙන් වෙන්ව ඇෆ්නිස්තානයේ බෝම්බ පුපුරුවයි. අයි.එස්. වැනි ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් ආසියානු රටවල් වන ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ, පිලිපීනයේ ක්‍රියාත්මක ඉස්ලාමීය කල්ලි සමඟ හවුල්වීම, එම ත්‍රස්ත කල්ලිවලට විශාල ශක්තියකි. එම කුඩා කල්ලිවලට ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට පහසුවකි. ඊට ප්‍රධාන හේතුව, අයි.එස්. සංවිධානය මූල්‍යමය වශයෙන් ශක්තිමත් වීමය.

අයි.එස්. සංවිධානයට දකුණු ආසියානු කලාපීය රටවලින් වැඩිවැඩියෙන් සාමාජිකයන් එක් කර ගැනීම පහසුවක් වී ඇත. ඊට හේතුව, සුළුජාතික මුස්ලිම් ප්‍රජාවට සිදුවන අසාධාරණකම්ය. උදාහරණයක් වන්නේ මියන්මාරයේ (අතීතයේ බුරුමයේ) රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ය. මියන්මාරයේ රකීන් පළාතේ රොහිග්න්‍යා වැසියන් උත්සාහ ගන්නේ එම පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ලබා ගැනීමටය. ඒ අනුව, හටගත් ගැටුම්වල අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ මේ වනවිට බංග්ලාදේශ දේශසීමාවේ සරණාගතයන් ලෙස සරණාගත කඳවුරුවලට මුස්ලිම් වැසියන් එක් රොක් වීමය.

ඉන්දීය පාලනයට නතු ජම්මු කාශ්මීරය තව උදාහරණයකි. ජම්මු කාශ්මීරයේ මුස්ලිම් වැසියන් නිරන්තරයෙන් ඉන්දීය හමුදාවේ තාඩන පීඩනවලට ලක් වන බව පැවැසෙයි. ජම්මු කාශ්මීරයේ නිරන්තරයෙන් මානව හිමිකම් උල්ලංඝනය වන බවටත් චෝදනා එල්ල වෙයි. එසේ තාඩනපීඩනවලට ලක්වන තරුණ කොටස් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලි හරහා අයි.එස්. සංවිධානයට එක් වන බව ජගත් බුද්ධි අංශ අනතුරු අඟවා ඇත. ඒ අනුව, කුඩා ත්‍රස්ත කල්ලි හරහා තම සංවිධානයට අලුත් සාමාජිකයන් බඳවා ගැනීම අයි.එස්. සංවිධානයට පහසුවකි.

ප්‍රහාරයක් එල්ල වේවි යැයි ඉන්දියාව පමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපදය ද අනතුරු අඟවා තිබියදී ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම සැබැවින්ම කනගාටුවට කරුණකි. දකුණු ආසියා කලාපයේ රටවල් අතරේ විධිමත්, ත්‍රස්ත මර්දන ක්‍රියාවලියක් සකස් කළ යුතුය. මේ සඳහා දකුණු ආසියානු රටවල් එකමුතු විය යුතුය. අයි.එස්. වැනි ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් මර්දනය කිරීම, එක් රටක එම රටේ අභ්‍යන්තර ගැටලුවක් සේ සලකා කළ fානහැකිය. දකුණු ආසියා කලාපයේ සෑම රටක්ම එකමුතු වී, දකුණු ආසියාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කළ යුතුය. ආසියාවේත් දකුණු ආසියාවේත්, ඇතැම් රටවල රජයේ අනුග්‍රහයෙන් ජාතික ප්‍රතිපත්තියක් ලෙස ජාතිකවාදී අරමුණු පෙරදැරි කරගනිමින්, සෙසු රටවලට පහර දීම සඳහා ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙයි. උදාහරණ ලෙස ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ පාකිස්තානයේ ජායිෂ් ඊ මොහොමද් යන ත්‍රස්ත කල්ලි හඳුන්වා දිය හැකිය. මෙම කල්ලි සමඟ අයි.එස්. ත්‍රස්ත සංවිධානය අත්වැල් බැඳ ගත්තොත් එහි ප්‍රතිභලය භයානයක. එහෙයින් ජාතිකවාදී ත්‍රස්ත කල්ලිවලට අනුග්‍රහය ලබා දීම නොකළ යුතුය.

දකුණු ආසියානු කලාපීය රටවල ත්‍රස්ත මර්දනයට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම ද ඉතා ප්‍රවේසමෙන් කළ යුතුය. ඊට හේතු කිහිපයකි. ත්‍රස්ත මර්දන ක්‍රියාවලියේ දී මානව හිමිකම් සුරැකීමට ද කළ යුතුය. ත්‍රස්ත මර්දනය සඳහා ආරක්ෂක අංශ වෙත බලය පවරාදීම ඉතා අවදානම් කටයුත්තකි. මියන්මාරයේ, තමන්ගේම පාලන ප්‍රදේශයක් ඉල්ලන රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් සහ ඔවුන් නියෝජනය කරන ඉස්ලාමීය කල්ලි මර්දනයට මියන්මාර හමුදාව ගත් දළදඬු තීරණ ජාත්‍යන්තරයේ අප්‍රසාදයට හේතුවක් වී තිබේ. නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සූ කී විවේචනයට ලක් විය.

ඉන්දියාවේ වත්මන් රජය, (හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ රජය) සුළුතර මුස්ලිම් ප්‍රජාව නොසලකා හැර ඇති බවට චෝදනා එල්ල වෙයි. ජාතිකවාදී අදහස් ඇති රජයේ ඇමැතිවරුන් බොහෝ දෙනෙක් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව හින්දු වැසියන් උසි ගන්වති. ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ඔවුන් පොළොඹවති. එවැනි ඇමැතිවරුන්ට හෝරජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ද නැත.

මීට සති කිහිපයකට පමණ පෙර, න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාවත් පාකිස්තානයත් යුද්ධයකට සූදානම් විය. ඒ, පාකිස්තාන රජයේ අනුග්‍රහය ලබනවා යැයි පැවැසෙන ජයේෂ් ඊ මොහොමද් ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය ඉන්දීය දේශසීමා පොලිස් භටයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ බිහිසුණු ප්‍රහාරය මුල්කොට ගනිමිනි. ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද බියක් හටගත්තේය. කෙසේ නමුත් තමන් අල්ලා ගත් ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවා යළි ඉන්දියාවට බාර දීමත් සමඟ යුද බිය පහව ගියේය. කෙසේ නමුත් පසුගිය අප්‍රේල් 11 වැනිදා ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණයේදී, මුස්ලිම් විරෝධී අදහස් පතුරුවමින්, ‘ළකුණු දමා ගැනීමට’ අගමැති නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයට හැකිවිය. එම අවස්ථාවේදී පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේ, මෙවර මහ මැතිවරණයෙන් මෝදි යළි අගමැති ධුරයට පත්වනු වේවි යැයි තමන් විශ්වාස කරන බවත්, එසේ වුවහොත්, මැතිවරණයෙන් පසු ඉන්දියාව සමඟ කාශ්මීර් අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා කරන බවය.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වුණු ප්‍රහාරය කිසිසේත් අනුමත කළ නොහැකි. එය ආගම් භේදයකින් තොරව ලොව සෑම කෙනෙකුම හෙළා දැක්කේය. නිදහසේ තමන් කැමැති ආගමක් ඇදහීමට රටක ජනතාවට අයිතිය තිබිය යුතුය. ජීවත් වෙන්න නිදහස තිබිය යුතුය. එම නිදහස උදුරා ගන්න තැත් කරන්නන් මනුෂ්‍යයන් නොවෙයි. අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ අරමුණ පැහැදිලිය. මෙම සංවිධානයට මුළු ලොවටම තර්ජනයකි. සිරියාවෙන් සහ ඉරාකයෙන් අඩපණ වුණත්, තමන් අල්ලා ගන්නා පළාත් ප්‍රදේශ එක් කර ගනිමින් ‘ඉස්ලාමීය රාජ්‍යයක්’ පිහිටුවීමේ අදහස තවමත් ඔවුන් බැහැර කර නැත. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම කෙසේ වෙතත්, ත්‍රස්ත ප්‍රහාර හරහා ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ, ඉන්දියාවේ, බංග්ලාදේශයේ, පිලිපිනයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය පතුරුවන්න අයි.එස් සංවිධානය සමත් වී අවසන්ය. අයි.එස්. ත්‍රස්තවාදය පිටුදැකීමට එක් රටකට පමණක් කළ නොහැකිය. ඒ සඳහා මුළු ලොවම එක් විය යුතුය. සියලුම ජාතීන් සියලුම ආගම් අතරේ සහජීවනයක් තිබිය යුතුය.

ද ජියෝ පොලිටික්ස් ඇසුරිනි

 


RECOMMEND POSTS