ඩොලීට හෙම්බිරිස්සා උණ
ඩොලී කැස්සාය. කිවිසුම් යැව්වාය. ඇයට උණ ගැනී තිබුණි. ඇය හෙම්බිරිස්සා උණ වසංගතයකට මුහුණ දුන්නාය. රෝගී තත්ත්වය උත්සන්න විය. හුස්ම ගැනීම අසීරු විය. ඩොලී මියගියාය. මේ ඇයගේ කතාවයි. ඩොලී ඩයිනසෝරයෙකි. 'ඩිප්ලොඩකස්' diplodocus වර්ගයේ ඩයිනසෝරයෙකි.
2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු 'කොවිඩ් 19' වසංගතය තවමත් අපට හිසරදයකි. ඒ නිසා වසංගතයක බිහිසුණු බව දැන් අප හොඳින් දනී. අප දන්නා අතීතයේත්, නොදන්නා අතීතයේත් වසංගත රෝග ලොව කලඹා තිබේ. අප නොදන්නා අතීතයේ, එනම් ඩයිනසෝරයන් මිහිපිට රජ කරද්දී, අවුරුදු මිලියන 100 කට පෙර, ඩයිනසෝරයන් මුහුණ දුන් සෙම්ප්‍රතිශ්‍යා වසංගතයක් ගැන තොරතුරු අනාවරණය කර දීමට 'ඩොලී' සමත් වී සිටී. එය ඇත්තෙන්ම පුදුමාකාර අපූරු අනාවරණයකි.
මෙම ස්වසන රෝග වසංගතය ඩයිනසෝරයන් අතරේ වේගයෙන් පැතිරෙන්න ඇත. ඩයිනසෝරයන්ට උණ තිබෙන්න ඇත. උන් උණ විකාරයෙන් පෙළෙන්න ඇත. කහින්න ඇත. කිවිසුම් යවන්න ඇත. එය ස්වසන පද්ධතිය අඩපණ කළ දරුණු ස්වසන රෝගී තත්ත්වයක් වන්නට ඇත. මෙසේ කියන්නේ ඩයිනසෝර විශේෂඥයන්ය.
ඒත් ඩයිනසෝරයන් තවත් අවුරුදු මිලියන 100 ක් යහතින් ජීවත් වූ නිසා, පැහැදිලියි; මෙම සෙම්ප්‍රතිශ්‍යා වසංගතයත් කාලය සමඟ සැර බාල වී යන්නට ඇත. 'කොවිඩ් 19' වයිරස වසංගතය ද 'ඔමික්‍රොන්' විකෘතිය හරහා මේ වනවිට සැර බාල වෙමින් පවතින ආකාරයටම, ඩයිනසෝරයන් අතරේ පැතිරැණු වසංගතය ද සැර බාල වී යන්නට ඇත.
''අප ඩයිනසෝරයන් ගැන මේ වනවිට බොහෝ දේ දන්නවා. බොහෝ දේ දැනගැනීමට පොසිල සාක්ෂි උදවු වෙලා තිබෙනවා. ඒත් ඩයිනසෝරයන් අතරේ පැතිරුණු සෙම්ප්‍රතිශ්‍යා ආසාදන තත්වයක් ගැන හෝඩුවාවක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි. ඒ නිසා මේක වැදගත්. මේක අතීතයට නෙත් හෙළන්න ලැබුණු හොඳ අවස්ථාවක්'' යැයි ආචාර්ය කැරී වුඩ්රෆ් පැහැදිලි කරයි.
'අවුරුදු මිලියන ගණනකට කලින්, එන්නත් තිබුනේ නැහැනේ. ඩයිනසෝරයන්ටත් අද අපට මුහුණ දෙන්න සිදුවන ආකාරයට වසංගත රෝගවලට මුහුණ දෙන්න සිදුවන්න ඇත. ස්වසන රෝගවලින් ඩයිනසෝරයන් බොහෝ දෙනකු මිය යන්න ඇත.' යැයි ආචාර්ය කැරී වුඩ්රෆ් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
අද වනවිට ඩයිනසෝරයන්ගේ ඉතිරි වී ඇත්තේ පොසිල අස්ථි පමණි. ඔවුන්ගේ සිරුරුවල මෘදු පටක හෝ ඉන්ද්‍රියයන් හෝ ඇත්තේ නැත. ඇත්තේ පාෂාණ තට්ටු සමඟ මිශ්‍රවී ඝන වුණු පොසිල අස්ථි පමණි. ඩයිනසෝරයකුට කිසියම් අසනීප තත්ත්වයක් තිබුණා ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ඒ අනුව පහසු නොවෙයි. ඒත්‍් පොසිල විද්‍යාඥයන් තහවුරු කර ගත් දෙයක් තිබේ. ඒ ඩයිනසෝර අස්ථි වායු මලුවලින් සමන්විතය යන්නය. ඩයිනසෝරයන්ට හුස්ම ගැනීම පහසු කිරීම සිදුවූයේ එම වා මලුවලිනි. වර්තමානයේ අප දකින කුරුල්ලන්ගේ අස්ථිවල ද මේ ආකාරයටම වා මලු තිබේ. ඩයිනසෝරයන් උරගයන්ට නොව; කුරුල්ලන්ට ඥාතීන් වන බව විද්‍යාඥයන් පවසන්නේ ද මේ නිසාය.
කුරුල්ලන්ට ආසාදනය වන කුරුලු උණ සෙම්ප්‍රතිශ්‍යා උණ රෝගයකි. කුරුලු උණ ආසාදනය වූ විට බෙල්ලේ අස්ථිවල මලු අවහිර වී වැසී යයි. එයින් අදහස් වන්නේ රෝගය උත්සන්න වී අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇතැයි යන්නය. 'ඩොලී'ගේ බෙල්ලේ පොසිල අස්ථි හොඳින් අධ්‍යයනය කරද්දී, වායු මලු අවහිර වී අස්ථි වෙනස් වී ඉදිරියට නෙරාවිත් ඇති බව වුඩ්රෆ් ට දකින්න ලැබී තිබේ. කුරුළු උණ ආසාදිත කුරුල්ලන්ගේ බෙල්ලේ අස්ථි ද මේ අයුරින් වෙනස් වන බව ආචාර්යවරිය සන්සන්දනය කර බලා තිබේ. 'ඩොලී' ස්වසන රෝගයකින් මිය ගියේ යැයි තහවුරු කෙරුණේ ඒ අනුවය. ආචාර්ය වුඩ්රෆ් ට 'ඩොලී'ගේ පොසිල අස්ථි හමුවී ඇත්තේ ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ කළ කැණීම්වලදීය.
මුලින් සඳහන් කළ විදියට, ඩොලී 'ඩිප්ලොඩකස්' diplodocus වර්ගයේ ඩයිනසෝරයෙකි. 'ඩිප්ලොඩකස්' ඩයිනසෝරයන් දැවැන්තයන්ය. මොවුන් සෝරපෝඩ් sauropod ඩයිනසෝරයන් අතරට අයත් වෙයි. කකුල් හතරනේ ඇවිද්ද ඩයිනසෝරයෙකි. දිග බෙල්ලක් සහ වල්ගයක් ඇති ශාක ශක්ෂකයෙකි. 'ඇපටෝසෝරස්', 'බැරෝසෝරස්', 'බ්‍රැකියෝසෝරස්', 'බ්‍රොන්ටෝසෝරස්', 'කැමරාසෝරස්' ආදී ඩයිනසෝරයන්ට සමානය. 'ඩිප්ලොඩකස්' ඩයිනසෝරයකුගේ පොසිල අස්ථි මුලින්ම සොයා ගැනීම සිදුවුණු බව පැවැසෙන්නේ 1877 වසරේදීය. අස්ථි සොයා ගැනීමට සමත් වූයේ පොසිල විද්‍යාඥ එස්. ඩබ්ලිව්. විලිස්ටන්ය. 'ඩිප්ලොඩකස්' ඩයිනසෝරයන්ගේ පොසිල අස්ථි හමුවී ඇත්තේ උතුරු මැද ඇමෙරිකාවේ සිදු කළ කැණීම්වලිනි. මොවුන් අවුරුදු මිලියන 154 ත් 152 ත් අතර කාලයේ මිහිමත රජ කරන්න ඇතැයි පැවැසෙයි.
ලුසිත ජයමාන්න
'ද සන්' ඇසුරිනි