ඇතුවත් බැරි නැතුවත් බැරි AI



අද අප ජීවත් වන්නේ තාක්ෂණික ලෝකයකය. කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI පෙරළි කරන ලෝකයකය. කෘත්‍රිම බුද්ධිය බොහෝ දෙනකුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලදීත්. රාජකාරි කටයුතුවලදීත්, ඒ කටයුතු පහසුවෙන් මෙන්ම ඉක්මනින් කිරීමට උදවු වෙයි.

ඔබට නොදන්නා ඕනෑම දෙයක්, ඔබේ පරිගණකය හෝ ජංගම දුරකතනය භාවිතයට ගනිමින්, කෘත්‍රිම බුද්ධියක් හා සම්බන්ධ වී කරගත හැකිය. ඕනෑම දෙයක, හොඳ මෙන්ම, නරක ද ඇත. කෘත්‍රිම බුද්ධිය ද එසේය. බොරුවක් ඇත්තක් කිරීමේ හැකියාව ද කෘත්‍රිම බුද්ධිය සතුය.

කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන් සකස් කළ ව්‍යාජ පුවත්, ඡායාරූප සමාජ මාධ්‍ය අරක්ගෙන ඇත. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද හඳුනා ගැනීම පහසු නැත. එහෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් සැමවිටම සැලකිලිමත් වීම වැදගත් වෙයි. තොරතුරුවල නිරවද්‍යභාවය සැමවිටම සොයා බැලිය යුතුය. යම් තොරතුරක් ඇති නම්, විශ්වාසදායක මූලාශ්‍ර සමඟ සසඳා බැලීම කළ යුතුය.

ඩීප් ෆේක් යනු කෘත්‍රිම බුද්ධිය (AI) උපයෝගී කරගනිමින් පුද්ගලයින්ගේ වීඩියෝ සහ ඡායාරූප වෙනස් කර නිර්මාණය කරන නවීන තාක්ෂණයකි. මෙහිදී සැබෑ පුද්ගලයන්ගේ මුහුණු සහ කටහඬ වෙනත් වීඩියෝ සහ ඡායාරූපවලට එකතු කර නිර්මාණය කරන බැවින් මෙය ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමට භාවිතා කළ හැක.

ඩීප් ෆේක්වලින් වන ප්‍රධාන බලපෑම් වන්නේ, කෙනකු අපකීර්තියට පත්කිරීමය. ව්‍යාජ වීඩියෝ නිර්මාණය කර ඔවුන් අපකීර්තියට පත්කිරීමට මෙය භාවිත කළ හැක. ව්‍යාජ තොරතුරු සමාජගත කළ හැකිය. පුද්ගලයින්ගේ හඬ අනුකරණය කර මුදල් වංචා කිරීම් අද බහුලව දකින්න ලැබෙයි. දේශපාලනික සහ සමාජීය වශයෙන් අස්ථාවරත්වයක් ඇති කිරීමට මෙය හේතු විය හැක.

ඩීප් ෆේක් රුවක් හඳුනාගන්නා ආකාර කීපයක් ඇත. ඩීප් ෆේක් වීඩියෝවල ඇස්වල චලනය ස්වාභාවික නොවන ආකාරයට වෙනස් විය හැක. මුහුණේ සමේ පැහැය සහ වයනය ස්වාභාවික නොවන ආකාරයට වෙනස් විය හැක. හඬේ ස්වාභාවික බව අඩු විය හැකි අතර, කටහඬ සහ මුහුණේ චලනයන් සමමුහුර්ත නොවීමක් දැකිය හැකිය. වීඩියෝවේ ගුණාත්මකභාවය අඩු විය හැකිය.

මෙවැනි ව්‍යාජ තොරතුරුවලින් වැළකී සිටීම සඳහා නිතරම විමසිලිමත් විය යුතු අතර තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය තුළ බෙදා නොගැනීම වැදගත් වෙයි.


RECOMMEND POSTS