ජීවයේ හෝඩුවාව



අඟහරු, හෙවත් රතු ග්‍රහයා, අප සෞරග්‍රහ මණ්ඩලයේ, සූර්යයාගේ සිට පෘථිවියෙන් පසු, සිවුවැනි හතරවන පිහිටි ග්‍රහලෝකයයි. පෘථිවියට සාපේක්ෂව අඟහරුගේ පෙනුම රතුය. ‘රතු ග්‍රහයා’ යන නම ඊට යෙදී ඇත්තේ ද ඒ නිසාය. මේ රතු පැහැයට හේතුව ග්‍රහලෝකයේ මතුපිට පවතින යකඩ ඛනිජ ඔක්සිකරණයයි. පෘථිවියෙන් එපිට අප සෞරග්‍රහ මණ්ඩලයේ ජීවීන් ඇතැයි මුලින්ම විශ්වාස කළ ග්‍රහලෝකය වන්නේ ද අඟහරුය. අඟහරු පිටසක්වළයන් ගැන කියැවෙන චිත්‍රපට සහ විද්‍යා ප්‍රබන්ධ කතා ද නිර්මාණය වී ඇත. අඟහරු ගවේෂණයට යානා යැවීමත් සමඟ විද්‍යාඥයන් පැහැදිලිව අවබෝධ කරගත් දෙයක් නම්, මේ වනවිට අඟහරු යනු සම්පූර්ණයෙන් නිසරු තැනකි. අඟහරු අප සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම ගවේෂණයට ලක්වූ ග්‍රහලෝකය ද වෙයි. විද්‍යාඥයන අඟහරු මත ජීවයක් තිබේද යන්න පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන අතර, අනාගතයේදී එහි ජනාවාස පිහිටුවීමේ හැකියාව ගැන සොයා බලමින් සිටී.

අද අඟහරු මතුපිට ජීවින් නැතත්, අතීතයේ, අඟහරු ජීවයෙන් පිරුණු තැනක් වන්න ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරන්නේ වසර ගණනාවක් තිස්සේය. ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු මතට යවා ඇති ‘පර්සිවියරන්ස්’ නමැති රොබෝ රෝවර් යානය, පසුගිය දා අඟහරු මත සිදු කළ නව සොයා ගැනීමක් මේ වනවිට විද්‍යාඥයන් අතරේ ලොකු කසුකුසුවක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. අඟහරු මත ජීවය තිබුණාද යන ප්‍රශ්නයට පෙරටත් වඩා පැහැදිලි පිළිතුරක් දීමට මේ නව සොයා ගැනීම සමත් වී ඇත. විද්‍යාඥයන්ට අඟහරුගේ පාෂාණවලින් හමුවුණු ‘දිවියාගේ පුල්ලි’ ගැනය. මේ දිවියාගේ පුල්ලි නැතිනම් ‘දිවියාගේ පුල්ලි’ යනු අඟහරු මත ඇති අසාමාන්‍ය සලකුණු කීපයකි. ඒවා බැලූ බැල්මට දිවියකුගේ සිරුරේ ඇති පුල්ලිවලට සමානය. මේ සලකුණු, අඟහරු මත ජීවය පැවැති බවට මෙතෙක් හමුවුණු ප්‍රබලතම සාක්ෂියයි.

නාසා ආයතනයේ පර්සිවරන්ස් රොබෝ රෝවර් යානය, ‘දිවියාගේ පුල්ලි’ සොයා ගත්තේ ජෙසීරෝ නමැති ආවාටයෙනි. පර්සිවරන්ස් යනු නාසා ආයතනය,  අඟහරු ගවේෂණය සඳහා යවන ලද, මේ වන විට අඟහරු මත හොඳින් ක්‍රියාකාරීව පවතින අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ රොබෝ යානයකි. 2021 පෙබරවාරි 18 වන දින අඟහරුගේ ජෙසිරෝ ආවාටයට ගොඩබෑම සිදුවූයේ අභ්‍යවකාශ යානයකින් රෝවරය අඟහරු මත යවා, ඉන්පසු අඟහරු කක්ෂයේ සිට පැරෂූට් ආධාරයෙනි. පර්සිවරන්ස් රෝවරයේ අරමුණ, අඟහරු මත අතීත ජීවයක් පැවතිණි ද යන්න පිළිබඳ සාක්ෂි සොයා බැලීමය. පර්සිවරන්ස් රෝවරය විවිධ ජීව විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක අධ්‍යයන සිදු කිරීමට අවශ්‍ය අධි-තාක්ෂණික කැමරා, ලේසර්, සහ රසායනික විශ්ලේෂණ උපකරණ රැසකින් සමන්විත වෙයි. පර්සිවරන්ස් යානය සමඟ අඟහරු වෙත රැගෙන යන ලද ඉන්ජිනියුටි යනු කුඩා ඩ්‍රෝන හෙලිකොප්ටරයකි. මෙය අඟහරු අහසේ පියාසර කළ මිනිසා විසින් නිර්මාණය කළ පළමු යානයි. ඉන්ජිනියුටි මේ වනවිට අක්‍රිය වී ගොසිනි. පර්සිවරන්ස් යානය නිර්මාණයටත්, එහි අඟහරු ගවේෂණ මෙහෙයුමටත් ශ්‍රී ලාංකික විද්වතුන් රැසකගේ දායකත්වය හිමිවී ඇති බව ද මතක් කළ යුතුය.

පර්සිවරන්ස් රොබෝ රෝවර් යානය, අඟහරුගේ ජෙසිරෝ ආවාටයට යැවීමට විද්‍යාඥයන් තීරණය කර තිබුණේ මෙම ආවාටය අතීතයේ අවුරුදු බිලියන ගණනකට පෙර ජලය පිරුණු විලක් සහ ගංගා නිම්නයක් වූ බවට සාක්ෂි හමුවී ඇති බැවිනි. අතීතයේ ජීවය පැවැතීමට අවශ්‍ය පරිසරය ජෙසිරෝ ආවාටයේ තිබෙන්න ඇත. පසුගිය කාලය පුරාවට රෝවරය ආවාටය සිදුරු කරමින්, පස් සාම්පල ලබා ගැනීම සිදු කළේය. එසේ ලබා ගත් පාෂාණ සාම්පලයක් විද්‍යාඥයෝ පුදුමයට පත් වූහ. පාෂාණවල ‘දිවියාගේ පුල්ලි’ වැනි කුඩා අඳුරු පැහැති පුල්ලි විශාල ප්‍රමාණයක් දකින්න ලැබුණි. මේ ලප සහ ඒවාට යටින් තිබුණු පාෂාණ පිළිබඳව, ගැඹුරින් අධ්‍යයනය කළ නාසා විද්‍යාඥයන්, ඔවුන්ගේ සොයා ගැනීම් නේචර් විද්‍යා සඟරාවේ පළ කර ඇත. පර්සිවරන්ස් රෝවරය, පාෂාණ සාම්පලවල දත්ත සහ ඡායාරූප පෘථිවියට එවන්නේ ගුවන් විදුලි සංඥා හරහාය.

විද්‍යාඥයෝ, මෙම පුල්ලිවල රසායනික සංයුතිය විශ්ලේෂණය කළහ.  එහිදී ඔවුන්ට මූලික වශයෙන් වැදගත් කරුණු රැසක් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව මේ පුල්ලිවල ඕගැනික් කාබන් තිබී හමුවිය. ඕගැනික් කාබන් යනු ජීවීන්ගේ ශරීරයේ අඩංගු වන කාබන් සංයෝගයි. මෙය සරල කාබන් පරමාණුවල සිට සංකීර්ණ ඩී.එන්.ඒ. අණු දක්වා විවිධ ආකාරවලින් පැවතිය හැකිය. පොදුවේ ගත් කල, ඕගැනික් කාබන් යනු ජීව විද්‍යාත්මක ක්‍රියාවලිවිලින් සෑදුණු හෝ ජීවීන්ගේ කොටසක් වූ කාබන් සංයෝගයි. ඕගැනික් කාබන්වලට අමතරව විශේෂිත ඛනිජ සංයෝග ද සොයා ගැනීමට හැකිවිය. පෘථිවි ජීවයේ මූලික ගොඩනැගීමේ ඒකකය කාබන්ය. අඟහරුවලින් හමුවුණු ‘දිවියාගේ පුල්ලි’වල මූලික වශයෙන් යකඩ සහ පොස්පේට්, යකඩ සහ සල්ෆයිඩ්වලින් සෑදුණු විශේෂිත ඛනිජ අඩංගු බව හඳුනා ගැනීම සිදුවිය. මෙම ඛනිජවලට, විවියනයිට් සහ ග්‍රෙගයිට් යන විද්‍යාත්මක නම් භාවිත කරයි. පෘථිවියේ දී නම් මෙම විවියනයිට් සහ ග්‍රෙගයිට් යන ඛනිජ සෑදෙන්නේ, ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසාය. බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන්, යකඩ සහ සල්ෆර් ආදී ඛනිජ ආහාරයට ගෙන ශක්තිය ලබා ගැනීමේ දී අතුරුඵලයක් ලෙස මේ සංයෝග පිට කිරීම සිදු කරයි. මේ කරුණු කාරණා සියල්ල එකිනෙක ගලපා බලද්දී, විදයාඥයන් යෝජනා කරන්නේ අතීතයේ, අඟහරු මත සිටි ක්ෂුද්‍ර ජීවීන් මේ පාෂාණවල ඇති කාබනික ද්‍රව්‍ය හා ඛනිජ භාවිතයට ගනිමින් ජීවත් වන්නට ඇති බවටය. එමෙන්ම හමුවුණු මේ පාෂාණ සෙසු පාෂාණවලට සාපේක්ෂව අලුත් බැවින්, අඟහරු මත ජීවය, විද්‍යාඥයන් කලින් අනුමාන කළාට වඩා දිගු කාලයක් පවතින්න ඇති බව ද හෙලි වී ඇත.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS