ඇෆ්ගන් පාකිස්තාන ගැටුම
ලෝකයට තවත් යුද්ධයක් ඕනෑද? ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඊශ්‍රායලයත්, හමාස් සංවිධානයත් අතර ගැටුම සමථයකට පත් කළා පමණි. දශක ගණනක් සමීප මිතුරන් ලෙස අත්වැල් අල්ලාගෙන සිටි ඇෆ්ගනිස්තානයත්, පාකිස්තානයත් අතරේ මේ වන විට යුදමය තත්වයක් වර්ධනය වීමට පටන් ගෙන ඇත. දෙරටේ දේශසීමාවේ අවි ගැටුම් ඇවිළෙයි.
තලේබාන්වරුන් ලෙස හැඳින්වෙන්නේ පෂ්තුන්වරුන්ය. පෂ්තුන්වරුන් මූලික වශයෙන් ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශවල ජීවත් වන ඉරාන සම්භවයක් ද ඇති ජනවාර්ගික කණ්ඩායමකි. පෂ්තුන්, පුක්තූන් සහ පතාන් යනුවෙන් ද මොවුන් හැඳින්වෙයි. වර්තමානයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගතව සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද පෂ්තුන්වරයෙකි. ඉම්රාන් අයත් වන්නේ නියාසි නමැති පෂ්තුන් ගෝත්‍රයටයි.
තලේබාන්වරුන් ද වර්ග දෙකකි. ඒ, ඇෆ්ගන් තලේබාන්වරුන් සහ පාකිස්තාන තලේබාන්වරුන් ආදී වශයෙනි. මොවුන්ගේ මත සහ අරමුණු එකිනෙකට වෙනස්ය. ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ප්‍රධාන අරමුණ ඇෆ්ගනිස්තානයේ පාලනය ඔවුන් සතුව තබා ගනිමින්
ඇෆ්ගනිස්තානය ඉස්ලාමීය එමීර් රාජ්‍යයක් කිරීමය. 2021 වසරේ දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිට වී යෑමත් සමඟ තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ රජයක් පිහිටුවා, ඔවුන්ට ආවේණික වූ දළදඬු ෂාරියා නීතිය ද ක්‍රියාවට නංවා ඇත.
පාකිස්තාන තලේබාන් යනු බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයකි. මොවුන් අවි දරා සිටින්නේ පාකිස්තාන රජයට එරෙහිවය. අදහස්වලින් වෙනස් වුවත්, ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ සහාය මෙම පාකිස්තාන තලේබාන්වරුන්ට හිමිවෙයි. දශක ගණනාවක් තිස්සේ ඇෆ්ගන් තලේබාන්වරුන්ට පාකිස්තාන රජයේත් හමුවේත් සහාය ලැබුණි. එසේ සහාය ලැබුණේ පාකිස්තාන තලේබාන්වරුන්ට සහාය නොදෙන්නැයි, ඇෆ්ගන් තලේබාන්වරුන්ට පාකිස්තාන රජය කළ බලපෑම මතය. කෙසේ නමුත්, පාකිස්තාන රජය ඉකුත් මාස කීපය පුරාම ඇෆ්ගන් තලේබාන් රජයට චෝදනා නගන්නේ ඔවුන් පාකිස්තාන තලේබාන්වරුන්ට දිගින් දිගටම රැකවරණය දෙන බව කියමිනි.
පසුගිය අප්‍රේල් මස 22 වැනිදා ජම්මු සහ කාශ්මීරයේ අනන්ත්නාග් දිස්ත්‍රික්කයේ පහල්ගම් පළාතේ ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින්, පාකිස්තාන බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේය. ඉන්දීය ජාතික සිවිල් වැසියන් 26 දෙනකු එයින් මියගිය අතර, තවත් 20 දෙනකු තුවාල ලැබූ බව පැවැසිණි. මෙම ප්‍රහාරය එල්ල කළේ පාකිස්තාන රජයේ අනුග්‍රහය ලබන ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තයන් යැයි ඉන්දියාව චෝදනා නැගීය. මෙම ප්‍රහාරය ඉන්පසු න්‍යෂ්ටික බලය ඇති ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද ගැටුමක් තෙක් දුරදිග ගියේය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය සමඟත්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජය සමඟත් සාකච්ඡා පැවැත්වූ අතර යුද ගැටුම සමථයකට පත් විය. ට්‍රම්ප්, නොබෙල් සාම ත්‍යාගයට තමන් සුදුසු යැයි කීමට එක් හේතුවක් කර ගත්තේ ද ඔහු මෙම ඉන්දු පාකිස්තාන යුද ගැටුම සමථයකට පත් කළ බැවිනි. මේ සම්බන්ධයෙන් පාකිස්තාන රජය ට්‍රම්ප්ට ස්තුති කළේය. ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නොබෙල් කමිටුවට ද දැනුම් දුන්නේය. ඉන්දු පාකිස්තාන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් දායක වූ බව ඉන්දියාව කිසිම අවස්ථාවක පවසා නැත.
ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු එම ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දැකීමට ඇෆ්ගන් තලේබාන් රජය පියවර ගැනීම සුවිශේෂී සිදුවීමක් විය. 2021 වසරට පෙර, තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය යළි අල්ලා ගැනීමට පෙර, ඔවුහු බිහිසුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදියෝ වූහ. බෝම්බ බැඳගෙන ඇමෙරිකන් හමුදාව සහ ඇෆ්ගන් සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේ තලේබාන් ත්‍රස්තවාදීන්ය. දැන්, එම තලේබාන්වරුන්ම ඉන්දියානුවන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙලා දැකීම, හාස්‍යයට කරුණක් බව ඇමෙරිකාව එම අවස්ථාවේදී පැවැසීය.
2021 වසරෙන් පසු පිහිටුවූ ඇෆ්ගන් තලේබාන් රජය අද වන විට ලොවෙන් හුදෙකලා වී සිටින්නේ ඔවුන්ගේ ෂරියා නීතිය නිසාය. බාලිකා අධ්‍යාපනය තහනම් කර ඇත්තේ සහ කාන්තා අයිතීන් උල්ලංඝනය වී ඇත්තේ මෙම ෂරියා නීතිය යටතේය. ඇෆ්ගනිස්තානයේ පෙළපොත්වලට ඇතුළත් වූ කාන්තාවන් විසින් රචිත සියලු දේ සහ කාන්තාවන් විසින් රචිත පොත්පත් ද තහනම් කර ඇත. පණ ඇති කිසිම දෙයක් ඡායාරූපයට නැගීම පවා තහනම්ය. මේ නිසාම, ඇමෙරිකාව සහ බටහිර රටවල් ඇෆ්ගන් තලේබාන්වරුන්ට පනවා ඇති සම්බාධක තවමත් ලිහිල් කර නැත. ඇමෙරිකාව සමඟ සමීප සබඳතා පවත්වන පාකිස්තානය ද, පාකිස්තාන තලේබාන්වරුන් හේතුවෙන්, ඇෆ්ගන් රජයට බලපෑම් කිරීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස, මිතුරාගේ හතුරා මිතුරා යැයි කියමින්, ඇෆ්ගන් තලේබාන් රජය ඉන්දියාවට ළං විය.
ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකී, සය දින නිල සංචාරයක් සඳහා නියෝජිතයන් ද පිරිවරාගෙන ඉන්දියාවට පැමිණියේය. සම්බාධක හේතුවෙන්, විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකී ට ඉන්දියාව බලා පැමිණීමේ දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ අවසරයක් ද ලබා ගැනීමට සිදුවිය. කෙසේ හෝ වේවා ඉන්දියාවට පැමිණි තලේබාන් රජයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකීට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. මිතුදම් අලුත් වී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය විය. සිවු වසරකට පසු කාබුල් අගනුවර තම තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට ඉන්දියාව කැමැත්ත පළ කළේය. ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකීගේ හමුවී සාකච්ඡා පවත්වා හොඳ හිත තරකර ගැනීමෙන් පසු ඉන්දීය රජය ඇෆ්ගන් රජයට ගිලන් රථ පරිත්‍යාග කිරීමක් ද සිදු කළේය. ඒ, ඇෆ්ගනිස්තානයේ සංවර්ධනය සහ යටිතල පහසුකම් ගොඩනැගීමට තමන් සහාය ලබා දෙන බව අවධාරණය කරමිනි. පාකිස්තානයේ සිත රිදීමට මෙය හේතුවක් වූ බව රහසක් නොවෙයි.
ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතරේ හොඳහිත තරවෙද්දී, කාබුල් අගනුවරට ගුවන් ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ පාකිස්තාන ගුවන් හමුදාවය. ඒ, කාබුල් අගනුවර සිටින පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමිනි. පාකිස්තානය තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බවට ඇෆ්ගන් තලේබාන් රජය චෝදනා නගන්න විය. ඊයේ (11) වන විට ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ද දරුණු අවි ගැටුම් ආරම්භ වී තිබුණි. ඇෆ්ගන් තලේබාන් රජය සහ පාකිස්තානය අතර හටගත් මෙම අර්බුදය උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි ඉරානය, කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය ඉල්ලීමක් කළේය. ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක එනයිතුල්ලා ක්වාරිස්මි පවසා ඇත්තේ අසල්වැසි පාකිස්තානයෙන් තම භූමියට ප්‍රහාරයක් එල්ල වන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට අයිතිය ඇති බවය.
ඇෆ්ගනිස්තානයත් පාකිස්තානයත් අතරේ ඇවි ගැටුම් තවත් උත්සන්න වුවහොත්, පාකිස්තානය සමඟ හැප්පීමට ශක්තිය තලේබාන්වරුන් සතුව ඇතිද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතී. මේ වන විට තලේබාන්වරුන් භාවිතයට ගන්නේ ඇමෙරිකන් හමුදා අතහැර ගිය හමුදා ජිප් රථ, හමුදා ට්‍රක් රථ සහ වෙනත් යුදෝපකරණය. ඇෆ්ගනිස්තානය ඇමෙරිකාවේ ග්‍රහණයේ පැවැති කාලයේ, ඇමෙරිකාව භාවිතයට ගත්තේ බාග්‍රම් ගුවන් කඳවුරය. දැන් මෙය ඇත්තේ තලේබාන්වරුන්ගේ ග්‍රහණයේය.
ට්‍රම්ප් පසුගිය දා මෙම කඳවුර යළි ඇමෙරිකාවට දෙන්නැයි තලේබාන් රජයෙන් ඉල්ලීමක් කළේය. ඒ එම ගුවන් කඳවුරේ උපායමාර්ගික වටිනාකම සැලකිල්ලට ගනිමිනි. ඒත් එක බිම් අඟලක් ඇමෙරිකාවට දෙන්නේ නැතැයි තලේබාන් පිළිතුර විය. මේ සම්බන්ධයෙන් ද තලේබාන් විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතරේ සාකච්ඡා පැවැත්විණි. ට්‍රම්ප්, ඔහුගේ මිතුරා පාකිස්තානය යොදවා තලේබාන් පාලනයට එරෙහිව යුද්ධයක් මෙහෙය විය හැකි යැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
එන්.ඩී.ටීවී ඇසුරිනි