නිදන කුමරු සමුගනී



වසර 20 ක් කෝමා තත්ත්වයෙන් සිහිසුන්ව සිටි සෞදි අරාබියේ ‘නිදන කුමාරයා’ ලෙස ප්‍රකට අල්-වලීඩ් බින් කලිඩ් බින් තලාල් කුමරු පසුගිය දා අභාවප්‍රාප්ත විය. මියයද්දී කුමරුන්ගේ වයස අවුරුදු 35 ක් විය. කලිඩ් කුමරු, සෞදි පාලක පවුලේ සාමාජික කලිඩ් බින් තලාල් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයාය. ප්‍රකෝටිපති ව්‍යාපාරික අල්-වලීඩ් බින් තලාල් කුමරුගේ බෑණාය.

2005 වසර වෙද්දී, අල්-වලීඩ් බින් කලිඩ් බින් තලාල් කුමරුන්ගේ වයස අවුරුදු 15 කි. ඔහු එංගලන්තයේ හමුදා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියේය. ලන්ඩන් නුවරදී කුමරු රිය අනතුරකට ලක් වී බරපතල ලෙස තුවාල ලැබුවේය. මොළයට දරුණු තුවාල සිදුවිය. අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවිය. සිහිසුන්ව කෝමා තත්ත්වයෙන් පසුවුණු කුමරු රෝහල්ගත කෙරුණි. කුමරුන්ට යළි සිහි නොඑන බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. ඒ අනුව, කුමරු සෞදියේ රියාද් නුවර ‘කිං අබ්දුලාසිස්’ වෛද්‍ය නගරයට රැගෙන යෑම සිදුවිය. 2005 වසරේ සිට සිහිසුන් කුමරු ජීවිත ආධාරක යන්ත්‍රයකට සම්බන්ධ කර තැබුණි.

එදා සිට 2015 තෙක් ඇමෙරිකාවේත් ස්පාඤ්ඤයේත් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වා කුමරුන්ට විවිධාකාරයේ ප්‍රතිකාර කළත් ප්‍රගතියක් අත් නොවිණි. 2015 දී කුමරු ජීවිත ආධාරක යන්ත්‍රයෙන් ඉවත් කිරීමට වෛද්‍යවරුන් යෝජනා කළත්, පුතුට ඇති දැඩි ආදරය සහ සෙනෙහස නිසා කුමරුන්ගේ පියා කලිඩ් බින් තලාල් බින් අබ්දුලාසිස් තරයේ කියා සිටියේ, සිහිසුන් තම පුතු අවසන් සුසුම් හෙලන තුරු රැක බලා ගන්නා බවය. එය එසේම සිදුවිය. පසුගිය 19 වැනිදා නිදන කුමරු නින්දේදීම අවසන් සුසුම් හෙළුවේය.අවසන් කටයුතු ඊට පසු දා රියාද් නුවරදී පැවැත්විණි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS