ගාසාවට සටන් විරාමයක් ඕනෑ

ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් අවශ්‍යය යැයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය පැවැත්වෙන්නේ, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය.
ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට තමන් දිවා රෑ නොබලා මහන්සි වෙන බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල වැසියන් ආරක්ෂිතව මුදා ගැනීමට තමන් ද උත්සාහ ගනිමින් සිටින බවත් ට්‍රම්ප් ලෝක නායකයන් හමුවේ කියා සිටියේය.
ගාසා තීරයේ හමාස් සටන්කාමින්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ගණන 48 ක් බව පැවැසෙයි.
කෙසේ නමුත්, ඊශ්‍රායලය පවසන්නේ, දැනට ජීවතුන් අතර සිටින්නේ එයින් 20 ක් පමණක් බවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ අණ පරිදි ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙන්නේ, මෙම ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්ය.
ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කරන, ප්‍රහාරවලින් ගාසා වැසියන් 65,000 කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති අතර, තවත් බොහෝ දෙනකු කුසට අහරක් නොමැතිව මරණ මංචකයේ සිටින බව ද පැවැසෙයි.

