ප්‍රංශය පලස්තීනය පිළිගනී

එක්සත් ජාතීන්ගේ 80 වැනි සැසිවාරයේ, ලෝක නායක සමුළුව ආරම්භ වූ අතර, ඊශ්‍රායල පලස්තීන අර්බුදය ද ප්‍රධාන මාතෘකාවක් බවට විය. සමුළුව අමතමින් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පැවැසුවේ, ප්‍රංශය පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බවය.
මැක්රොන් සමුළුව ඇමතීමට පෙර, සමුළුවට සමගාමීව, ප්‍රංශ ජනාධිපතිවරයා සහ සෞදි බලධාරීන් අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. ඒ, ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙනි. සල්මාන් කුමරු සමුළුවට සහභාගී වූයේ නැත. ඔහු ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට එක් වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, පෘතුගාලය සහ ඕස්ට්‍රේලියාව ද මේ වනවිටත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇත. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් ගාසා පලස්තීනුවෝ 65,300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් බොහෝ දෙනකු කුසට අහරක් නොමැතිව මරණ මංචකයේ සිටින බව ද පැවැසෙයි.
සමුළුව අමතමින් ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කළේ ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන යුද අපරාධ වහා නැවැත්වීමට ඊශ්‍රායලය කටයුතු කළ යුතු බවත්, ඊශ්‍රායල පලස්තීන අරබුදය විසඳීමට ඇති එකම මාර්ගය ද්වී රාජ්‍ය විසඳුම පමණක් බවය. ඊශ්‍රායලය සේම පලස්තීනය ද පැවැතිය යුතු බව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ආමන්ත්‍රණය කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ද අවධාරණය කර ඇත්තේ, ඊශ්‍රායල පලස්තින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට නම් ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බවය. නිව්යොක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී, මැක්රොන් සමඟ මුහුණුට මුහුණ සාකච්ඡා පැවැත්වූ ප්‍රංශ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සෞද් ද අවධාරණ කර ඇත්තේ ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බවය.
ලෝක නායකයෝ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන සාකච්ඡා පවත්වද්දී පවා ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරවලින් ගාසා සිටී නගරයේ පලස්තීන වැසියන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. ප්‍රංශය පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමත් සමඟ බෙල්ජියම ද කියා සිටියේ තමන් ද පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බවය.

