තරුණ දරුවන්ගේ මානසික සුවතාව ගිලිහී යන්නේ ඇයි?



සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල

රටක අනාගතය දරුවන්ය. දරුවන්ගේ යහ පැවැත්ම උදෙසා අද අප දමන අඩිතාලම ඉදිරියට ආයෝජනයකි. නව යොවුන් විය ජීවිතයේ වැදගත්ම අවදිවලින් එකකි. අවුරුදු 10ත් 14ත් අතර කාලය නව යොවුන් විය ලෙසද, අවුරුදු 15ත් 24ත් අතර කාලය යොවුන් විය ලෙසද හැඳින්වේ.

මෙකී කාලය මානසික යහපැවැත්ම සහ චිත්තවේගීය පුරුදු වර්ධනය වන තීරණාත්මක කාලයකි. නව යොවුන් වියේ දරුවන්ගේ මොළය මේ අවදිය වනවිටත් වර්ධනය වෙමින් පවතී. හැඟීම්වලට අයත් මොළයේ කොටස් හොඳින් වර්ධනය වී තිබුණත් බුද්ධියට අදාල මොළයේ කොටස් තවමත් වර්ධනය වෙමින් පවතී. ඔවුන් බුද්ධියට වඩා හැඟීම්වලට මුල් තැන දෙන්නේ එනිසාය.

ආවේගශීලී වීම, ක්ෂණික ප්‍රතිචාර දැක්වීම, වැරැදි ලෙස වටහා ගැනීම, ගැටුම්වලට පහසුවෙන් නැඹුරු වීම, අවදානම් ක්‍රියාවල යෙදීම, හදිසි අනතුරුවලට බඳුන් වීම ආදී තත්ව මේ වයස්කාණ්ඩ අතර බහුලව දක්නට ලැබේ.

ප්‍රතිචාර දැක්වීමට ප්‍රථම හොඳින් සිතා බැලීම, තර්කානුකූලව සිතීම ආදී බුද්ධියට අදාල ක්‍රියාවන් මොවුන් තුළ දක්නට ලැබෙනුයේ අඩුවෙනි. විශේෂයෙන්ම නව යොවුන් වයසේ පසුවන අය ඔවුන් කරන ක්‍රියාවල පසු විපාක ගැන සලකා නොබලති. ඔවුන් හැසිරෙන ආකාරය, ප්‍රශ්න විසඳන ආකාරය හා තීරණ ගන්නා ආකාරය වැඩිහිටියන්ට වඩා වෙනස් වන්නේ මේ ජීව විද්‍යාත්මක කරුණ නිසාය.

තරුණ වියේ පසුවන දරුවන්ට නිවැරැදි තීරණ ගත නොහැකියි යන්න මෙන්ම ඔවුන් කරන ක්‍රියාවලට තමන් වගකිව යුතු නැතැයි යන්න මින් අදහස් නොකෙරේ.

මේ අවදියේදී සිදුවන කායික, චිත්තවේගීය හා සමාජයේ වෙනස්කම් නව යොවුන් හා යොවුන් වියේ පසුවන අයගේ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කළ හැකි බැවින් ඔවුන්ට විවිධාකාරයෙන් මානසික ගැටලු පැන නැගිය හැකි අවදානම් කණ්ඩායමක් බවට පත්ව ඇත.

මෙකී වයස් කාණ්ඩවල අයගේ බොහෝ ශාරීරික වෙනස්කම් සිදු වේ. එහෙත් ඊට සමගාමීව සිදුවන මානසික වෙනස්කම් ගැන මවුපියන් , වැඩිහිටියන් බොහෝ විට අවදානය මෙන්ම දැනුවත්ද නැති බව කිව යුතුමය. ඊට හේතු වන්නේ මානසිකව සිදුවන වෙනස්කම් ,ශාරීරික වෙනස්කම් හෝ සෘජුවම හඳුනා ගත නොහැකි වීමය. ඒවා බොහෝ විට පිටතට පෙන්වනුයේ ළමයාගේ හැසිරීමේ හා ප්‍රතිචාර දැක්වීමේ වෙනස්කම් මතිනි.

නව යොවුන් වියේ හැසිරීමේ වෙනස්කම්

වෙනදාට වඩා ආවේගශීලී වීම , ඉක්මනින් තරහ යාම, ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම, මවුපියන් හෝ වැඩිහිටියන් උපදෙස් දෙනවාට අකැමැති වීම, එවැනි අවස්ථා මඟ හැර යාම, උපදෙස් අසා සිටියද ඒවා පිළිනොපැදීම, නිතරම වැරැදි වැටහීම් ඇති කර ගැනීම, තමන් ගැන වැඩිහිටියන් සොයා බලනවාට ඇති අකැමැත්ත, පහසුවෙන් අන් අය සමඟ ගැටුම් ඇති කර ගැනීම වැනි දෑ ලක්ෂණ ලෙස දැක්විය හැකිය.

බොහෝ වෙලාවට ඔවුන් මෙයාකාරයෙන් හැසිරෙන්නෙ මවුපියන් , වැඩිහිටියන් අපහසුතාවට පත් කිරීමට සිතා ගෙන නොවේ. ඒ නිසා තරුණ වියේ පසුවන දරුවන්ගේ ක්‍රියාවලට ප්‍රතිචාර දැක්වීමේදී මේ කරුණු ගැනත් සිතට ගන්න.

නව යොවුන් විය සම වයස් කණ්ඩාම්වල අහිතකර පීඩනවලට බඳුන් විය හැකි අවදානම් කාලයකි. ඊට හේතුව මේ වයස්වල අය විශ්වාස කරනුයේ වැඩිහිටියන්ට වඩා තම හැඟීම් හා අවශ්‍යතා වැඩිපුර අවබෝධ කර ගන්නේ සම වයස්වල අය බවය.

මෙහිදී ඔවුන් හා එක්ව සිටීමට, ඇසුරු කිරීමට, ඔබේ අගය , මතය, විශ්වාසයට පටහැනි යමක් කිරීමට අනෙකාට සිදුවන තැනට පොළඹවා ගැනීමය.

ඒ නිසා කුඩා කල සිටම දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණු කිරීමට කටයුතු කළ යුතුය. පරාජය හා ප්‍රතික්ෂේප වීම විඳ දරා ගැනීමට දරුවන්ට පුරුදු කළ යුතුය. ඒ නිසා කුඩා කල සිටම දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණු කිරීමට කටයුතු කළ හැකිය. පරාජය හා ප්‍රතික්ෂේප වීම විඳ දරා ගැනීමට දරුවන්ට පුරුදු කළ යුතුය.

යොවුන් වියේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කරන්නේ කෙසේද?

මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම , මානසික සෞඛ්‍යමය ප්‍රවර්ධනය කිරීම තනි පුද්ගල මට්ටමින් මෙන්ම පරිශ්‍ර හරහාද ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළ හැකිය. උදාහරණයක් ලෙස පාසල් , උසස් අධ්‍යාපන ආයතන, වෘත්තිය පුහුණු ආයතන හරහාද මෙය ක්‍රියාවට නැංවිය හැකිය. මෙමගින් බලාපොරොත්තු වන්නේ යොවුන් වයසේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් භාවය වැඩි කිරීම පමණක්ම නොවේ. ආකල්ප වැඩි දියුණු කිරීම මෙන්ම ප්‍රායෝගිකව දියුණු කිරීම ගැනත් මෙහිදී අවධානය යොමු කෙරේ. දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණු කිරීමද ඉතා වැදගත්ය.

හැඟීම් පාලනය කිරීමට දරුවන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීම, අවදානම් හැසිරීම වෙනුවට යොදා ගත හැකි විකල්ප ගැන දැනුවත් කිරීම මෙන්ම ඒවා ක්‍රියාවට නැංවීම බලගැන්වීම, දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම, ආදරය – රැකවරණය පිරුණු උපකාරාත්මක වටපිටාවක් නිවස තුළ සකස් කර දීම ආදිය ප්‍රධානය.

තමන්ට කළ හැකි දේ

සතුට ගෙන දෙන විනෝදාංශවල යෙදීම . එනම් පොත්පත් කියවීම, සින්දු කීම, නර්තනය, සංගීත භාණ්ඩයක් වාදනය වැනි දේට යොමු විය හැකිය.

පවුලේ සියලු දෙනාම එක්ව ක්‍රියාකාරකම්වල යෙදීම . විශේෂයෙන් එළිමහන් ක්‍රියාකාරකම්වලදී ස්වභාව ධර්මයෙන් මානසික යහ පැවැත්ම වැඩි දියුණු කිරීමට ඇති පිටිවහලද යොදා ගත හැකිය.ඒ වගේම පවුලේ අය, නෑදෑයන් , යහළුවන් සමග සබඳතා තර කර ගැනීම , අන්‍යන්ට උදව් කිරීම, කෘතවේදී වීම, කායිකව ක්‍රියාශීලී වීම, අවශ්‍ය පමණ විවේකය සහ නින්ද, පෝෂ්‍යදායි ආහාර ,තමන්ට කාරුණික වීම සහ තමන් ගැන සැලකිලිමත් වීමත් අවශ්‍යය.

යම් මානසික පීඩාවකින් , ආතතියකින් පසුවන විට අපගේ නිවැරැදි තීරණ ගැනීමේ හැකියාව බොහෝ දුරට අඩුය. එවන් අවස්ථාවකදී ගැටලුවලට විසඳුම් සෙවීමේදී ක්ෂණිකව පැන නගින තීරණය නිවැරැදි බව හැඟේ. මෙබඳු අවස්ථාවකදී ක්ෂණික තීරණ නොගන්න. මන්ද මෙවන් විටක ගන්නා තීරණවල ප්‍රතිවිපාක මුළු ජීවිත කාලයටම තමන් මෙන්ම සෙසු අයද විඳවන බැවිනි.

එබැවින් තමා යම් ගැටුමකට මැදිව සිටින විට එය හුදෙකලාව සිතේ දරා ගෙන නොසිට විශ්වාසනීය කෙනකුට පැවැසීමෙන් වඩා නිවැරැදි විසඳුමක් ලබා ගත හැකි වනු ඇත. සමහර මානසික ගැටලු ගුරු දෙගුරුන් සමඟ කතා කිරීමෙන් විසඳා ගත හැකි ඒවාය.

තව දුරටත් යම් උපදෙසක් හෝ සහාය අවැසි නම් උපකාරක දුරකතන සේවා අපේ රටේද ක්‍රියාත්මකය. සතියේ දින හතේම පැය 24 පුරාම නොමිලේ ඔබට මෙකී සේවාව ලබා ගත හැකිය.

ඒ අනුව 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව, 1999 සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, 1333 සී.සී.සී. උපකාරක සේවාව, 1375 ලංකා ලයිෆ් ලයින්, සුමිත්‍රයෝ, සහනය මෙන්ම භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වෙන ශාන්ති මාර්ගම් යන සේවාද ලබා ගත හැකිය.

- සටහන - මාධවී ධර්මරත්න


RECOMMEND POSTS