චීනය කලඹන හියුමන් මෙටානියුමෝවයිරස්
කොවිඩ් 19 වයිරසය, ලෝකය දණ ගැස්සුවේ මීට වසර පහකට කලිනි. ලෝකයට වින කළ කොවිඩ් 19, ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ, 2019 වසර අවසානයේය.
අද කොවිඩ් 19 බිහිසුණු බව පහව ගොස් අවසන් වුවත්, එයින් එල්ල වන තර්ජනය අවසන් නැත. තවමත් කොවිඩ් 19 ලෝකයට තර්ජනයක් වන වයිරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසය. කරුණු කාරණ මෙසේ වෙද්දී, චීනයෙන් තවත් වයිරසයක් ගැන බියක් හටගෙන ඇත. සමාජ මාධ්‍යවලින් දකින්න ලැබෙන වීඩියෝ දසුන් අනුව, චීනයේ රෝහල් මේ වනවිට එම වයිරස රෝගීන්ගෙන් පිරී යමින් පවතී.
මෙම වයිරසය, හියුමන් මෙටා නියුමෝ වයිරස් හෙවත් එච්.එම්.පී.වී. Human metapneumovirus (HMPV) නමැති වයිරසය යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සෙම්ප්‍රතිශ්‍යාව, උණ, සොටු දියර ගැලීම, උගුරේ ආසාදන, කැස්ස, ස්වසන අපහසුතා රෝග ලක්ෂණ වෙයි. රෝග ලක්ෂණ පමණක් නොව, මෙම වයිරසය ආසාදනය වන ආකාරයට ද කොවිඩ් 19 වැනිය. වයිරස ආසාදනය වේගවත්ය. ආසාදිතයකුගෙන් නිරෝගී පුද්ගලයකුට වයිරසය ආසාදනය වන්නේ කෙළ සහ සොටු බිඳිතිවලිනි. ආසාදිතයකු ස්පර්ශ කළ දෙයකින්, වයිරසය නිරෝගී අයකුට ආසාදනය වෙයි.
එච්.එම්.පී.වී. වයිරසයට ඔසුවක් එන්නතක් හෝ නැත. ආසාදන තත්ත්වය උත්සන්න වුවහොත් අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිදු කරයි. එච්.එම්.පී.වී. වයිරසය කුඩා දරුවන් අතරේ බහුල ලෙස ව්‍යාප්ත වෙයි. ඊට අමතරව, අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්, ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින් බරපතලට මෙය බරපතල විය හැක. මේ වනවිට චීනයෙන් වාර්තා වන රෝගීන්ගෙන් වැඩි දෙනා අවුරුදු 14 ට අඩු කුඩා දරුවන්ය.
චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවත්ය. එසේ වුවත්, රටවල් රැසක් මේ වනවිට ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත්තේ චීනයට යෑමෙන් වැළැකී සිටින ලෙසය. මේ සම්බන්ධයෙන් චීන රජය පැහැදිලි කර ඇත්තේ, චීන වැසියන් ගැනත් චීනයට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය ගැනත් සහතිකයක් දීමට හැකි බවත්, චීනයේ සංචාරය කිරීම අවදානමක් නොවන බවත්ය.
හියුමන් මෙටා නියුමෝ වයිරස් හෙවත් එච්.එම්.පී.වී. වයිරසය පළමු වරට හමුවූයේ 2001 වසරේ දී නෙදර්ලන්තයෙනි. වයිරසය සොයා ගත්තේ නෙදර්ලන්ත වෛද්‍ය පර්යේෂිකාවක වන බ්රර්නැඩේඩ් වොන් දෙ හෝගන් සහ ඇගේ පර්යේෂණ කණ්ඩායමය. වයිරස ආසාදිත දරුවන් 28 දෙනකුගෙන් ලබා ගත් සාම්පල අධ්‍යයනය කරද්දී, මෙය නව මාදිලියේ වයිරසයක් බව තහවුරු විය. ඒ අනුව, හියුමන් මෙටා නියුමෝ වයිරස් හෙවත් එච්.එම්.පී.වී යනුවෙන් ඊට නම යෙදුණි. සීත කාලය අවසන් වෙද්දී සහ වසන්ත කාලයේ බටහිර රටවල (යුරෝපයේත් ඇමෙරිකාවේත්) එච්.එම්.පී.වී ව්‍යාප්තිය සිදුවෙයි. ඒ, ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හා සමානවය. (ඉන්ෆ්ලුවෙන්සා වයිරසය කාණ්ඩ හතරකි.
වයිරස ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවන්නේ උතුරු දිග පළාත්වලය. හොංකොංවලින් ද ආසාදිතයන් කීප දෙනෙකු හමුවී ඇත. 2019 වසරේ දී කොවිඩ් 19 ව්‍යාප්තිය සිදුවෙද්දී, කොවිඩ් 19 වයිරසය මුලින් හැඳින්වූයේ වූහාන් වයිරසය යන නමිනි. සාමාන්‍යයෙන් චීන වැසියෝ, ජනවාරියේ චීන අලුත් අවුරුද්ද සමරති. ලොව පුරා වෙසෙන චීන ජාතිකයෝ, චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් චීනයේ ඔවුන්ගේ ගම් පළාත්වලට පැමිණෙති. කොවිඩ් 19 වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඒසේ චීනයට පැමිණි වැසියන් ආපසු ලොව පුරා යද්දීය. කොවිඩ් 19 ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරයටම එච්.එම්.පී.වී. ද ව්‍යාප්තවීමේ අවදානමක් පවතී. තවත් දෛවෝපගත කාරණාවක් ද ඇත. කොවිඩ් 19 ගෝලීය වසංගතයක් වෙද්දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. දැන් ට්‍රම්ප් යළිත් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටී. ඔහු දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය.