ආයු බෝ කරන ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයක්



සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලේඛකාධිකාරී වෛද්‍ය තනුජා වික්‍රමාරච්චි
 
දවසකට කිහිප සැරයක්ම අපි පුරුද්දකට වගේ ආයුබෝවන් කියා ප්‍රාර්ථනා කළාට සැබැවින්ම ආයු බෝ කරන ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයක් හඳුන්වා දීම අද ලිපියේ අරමුණයි. අඩු වයසින් වැළඳෙන හෘදයාබාධ නිසා සිදුවන අකල් මරණ එදාට වඩා අද සුලබය. ඒත් පවුල් සංස්ථාව තුළ ඔබ දරන වගකීම් සම්බාරය ගැන කල්පනා කරද්දී මෙවැනි අකල් මරණයකින් ජීවිත කීයක් අසරණ වීමට පුළුවන්ද? එබැවින් කිසිම වියදමකින් හෝ ඖෂධ භාවිතයකින් තොරව හෘදයාබාධ වැනි බෝ නොවන රෝග රැසක්ම වළක්වා ගත හැකි ක්‍රමයක් විදිහට ශාරීරික ක්‍රියාශීලී භාවය හඳුන්වා දිය හැකිය.
 
ලොව ජනගහනයෙන් හතරෙන් එකක් කම්මැලි
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙක් අවම වශයෙන් සතියකට මිනිත්තු 150ත් 300ත් අතර කාලයක් මධ්‍යස්ථ තීව්‍රතාවෙන් හෝ සතියකට මිනිත්තු 75ත් 150ත් අතර කාලයක් වැඩි තීව්‍රතාවකින් ශාරීරික ක්‍රියාකාරකම්වල නියැළිය යුතුය.ළමයින් සහ නව යෞවනයන් සඳහා නිර්දේශිත මධ්‍යස්ථ හෝ වැඩි තීව්‍රතා ක්‍රියාකාරකම්වල කාලය දිනපතා මිනිත්තු 60කි. එසේ නිර්දේශිත ප්‍රමාණයෙන් ශාරීරික ක්‍රියාකාරකම්වල නොයෙදීම නිසා අපගේ ක්‍රියාශීලීත්වය බොහෝ අඩු වීමට හේතු වී ඇත. මේ තත්ත්වය පුද්ගල මරණ අනුපාතිකය වැඩි වීමේ සිව්වැනි අවදානම් සාධකය ලෙස හඳුනා ගෙන ඇත.
 
තවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි ලෝක ජනගහණයෙන් හතරෙන් එකක් පමණ ක්‍රියාශීලී නොවේ. ජාත්‍යන්තර සම්මතවලට අනුව 2021 වර්ෂයේ කරන ලද සමීක්ෂණයකට අනුව මෙරටේ වැඩිහිටියන්ගෙන් තුන් දෙනකුගෙන් එක් අයකු නිර්දේශිත ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණයෙහි නිරත නොවන බවත් ඊට වැඩිපුරම දායක නොවන්නේ කාන්තාවන් බවටත් සොයා ගෙන ඇත.
 
ක්‍රියාශීලී නොවීමේ අවාසි-
 
මෙයාකාරයට ක්‍රියාශීලී නොවීමෙන් අකල් මරණවලට අමතරව දියවැඩියාව, අධි රුධිර පීඩනය,හෘදයාබාධ, ආඝාතය ,රුධිර ගත කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය ඉහළ යාම ,පිළිකා වැනි බෝ නොවන රෝගවලට ඇති අවදානමද ඉහළ යයි. එහෙත් ඔබ ප්‍රමාණවත් පරිදි ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කරන්නේ නම් ඉහත රෝගාදියට ඇති අවදානම බෙහෙවින් අඩු වනවා පමණක් නොව අමතර වාසි රැසක්ද ළඟා කර ගත හැකිය.
 
ඔබේ ශරීර බර පාලනය කර ගැනීමෙන් ආකර්ශනීය පෙනුමක් ලබා ගැනීමට හැකි වීම, ඔබේ අස්ථි- මාංශ පේශි -සන්ධි ශක්තිමත් කර ගැනීමට හැකි වීම, කාන්තාවන් අතර බහුල ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටිස් වැනි සන්ධි ආශ්‍රිත රෝග වළක්වා ගැනීම ආදි වාසි ඔබට අත් විඳීමට ලැබෙනු ඇත. තවද ඔබගේ මානසික සෞඛ්‍යය යහපත් වීමෙන් ප්‍රාණවත් හා සැහැල්ලු මනසක් ඇති වීම, විෂාදය හෝ කාංසාව වැනි මානසික රෝග සමනය වීම ,සුව නින්දක් ලැබීම වැනි ප්‍රතිඵල ලැබෙනු ඇත.
 
පාසල් දරුවන්ට ඇති වැදගත්කම-
 
අද පාසල් දරුවන් පවා ක්‍රීඩා,නැටුම්, සහ ව්‍යායාම් ආදියට යොමු වීමේ අඩුවක් දක්නට ඇත. වීෂය පරිබාහිර ක්‍රියාකාරකම්වලට යොමු වීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් විය හැකියැයි වැරැදි මතයක් මවුපියන් අතර ඇති වීම නිසා ඒ සහාය දරුවන්ට තම නිවසින් නොලැබේ. ක්‍රියාශීලී දරුවන්ගේ මොළයේ ඇති සෙරටොනින් වැනි රසායනික හා පීඩන හෝමෝන වර්ග සුදුසු පරිදි යාමනය වීමෙන් ඔවුන්ගේ සිතීමේ , ඉගෙනීමේ හා තීරණ ගැනීමේ හැකියා වර්ධනය වන බව ඔබ දන්නවාද? එසේම අධ්‍යාපන ක්‍රියාවලියේ ඒකාකාරී බව හා පීඩනය අවම වී එය සතුටුදායී සේම තමන් කැමැතිම අත්දැකීමක් බවටත් හැරවෙනු ඇති. මේ අනුව දරුවන් ශාරීරික ක්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් ඔබ පරිපූර්ණ දරුවකු රටට දායාද කරයි. හුදෙක් පොත පතෙහි දැනුමෙන් පමණක් ජීවන අභියෝගවලට නොසැළී මුහුණ දෙන සමබර පෞරුෂ වර්ධනයක් සිදු නොවන නිසාය.
 
ඔබ, ශාරීරික ක්‍රියාකාරකම්වල ප්‍රායෝගිකව නිරත විය යුතු ඇයි?
 
ඔබගේ විවේකයේදී පාපන්දු, අත් පන්දු,හොකී,රග්බි, ත්‍රිකට්,එල්ලේ, ජිම්නාස්ටික්,පිහිනීම වැනි ක්‍රීඩාවක හෝ නර්තනයක හෝ සම්මත ව්‍යායාම් මාලාවක යෙදීමට හැකිය. නැත්නම් කඳු නැගීම, ගෙවතු වගාව වැනි ක්‍රියාකාරකමද නියැළිය හැකිය.
 
එසේම දැනට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත කෙටි ව්‍යායාම විවේකයේදී යෙදීම, විදුලි සෝපානය වෙනුවට පඩිපෙළ භාවිත කිරීම හා සපයා ඇති ව්‍යායාම මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් සඳහා සහභාගි වීම සිදු කළ හැකිය.
 
ඔබ පාසලට හෝ රාජකාරී ස්තානයට යාමේ ප්‍රවාහන මාධ්‍ය ලෙස පාපැදිය භාවිතය හෝ හැකි උපරිම දුරක් පා ගමනින් යාම සෞඛ්‍යයට වගේම ඔබේ පසුම්බියටත් ලාබදායි විකල්පයක් වනු ඇත.
 
නිවස පිරිසුදු කිරීම,රෙදි සේදීම, ධාන්‍ය කෙටීම ,ඇඹරීම සහ තණකොළ කැපීම වැනි ගෘහස්ථ ක්‍රියාකාරකම් විදුලි මෙවලම් භාවිතයෙන් සිදු කිරීම ශාරීරික යෝග්‍යතාවට හේතුවකි.
 
ඔබගේ ශාරීරිත, මානසික ,සමාජයීය, අධ්‍යාපනික වගේම ආර්ථික සංවර්ධනයට පවා දායකත්වයක් ලබා දෙන ශාරීරික ක්‍රියාශීලීත්වය කුඩා දරුවාගේ පටන් තරුණ,මැදි වයස්,ගර්භනී මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලන්ගේම නිරෝගී බව තහවුරු කරන සාධකයකි. ශාරීරික ව්‍යායාම් වර්ග කිහිපයක් ඇති අතර එකී සෑම වර්ගයකටම අදාල ක්‍රියාකාරකම් ඇතුළත් වන පරිදි වයායාම්වල නිරත වීම සක්‍රීය ජීවන රටාවකට මඟ පාදාදේ. ස්වායු ක්‍රියාකාරකම්, මාංශපේශී ශක්තිමත් කිරීම, සමතුලිතතා පුහුණුව යන ක්‍රියාකාරකම් දෛනික ව්‍යායාම මාලාවට ඇතුළත් කර ගැනීම සෑම වයස් කාන්ඩයකටම උචිතය.
 
නිරෝගීව ඉන්නට
 
ඔබගේ කැමැත්ත මත මධ්‍යස්ථ හා වැඩි තීව්‍රතාවෙන් යුත් ශාරීරික ක්‍රියාකාරකම් තෝරා ගත හැකිය. වේගයෙන් ඇවිදීම, පාපැදි භාවිතය,නර්තනය ,ස්වායු වයායාම ,කඳු නැගීම ,ගෙවතු වගාව ආදිය මධ්‍යස්ථ තීව්‍රතා ව්‍යායාමවලට අයත්ය. පිහිනීම,දිවීම ස්වායු ව්‍යායාම ,සටන් කලාව ,ජිම්නාස්ටික්, පඩි නැගීම ,පාපන්දු ,දැල් පන්දු,හොකී වැනි ක්‍රීඩා ආදිය වැඩි තීව්‍රතා ව්‍යායාම ලෙස සැලකේ. ඉහත ශාරීරික ක්‍රියාකාරකම් ඔබගේ දෛනික ජීවන රටාවට එකතු කර ගැනීමෙන් නිරෝගී හැඩැති සිරුරක් මෙන්ම කිසිම වියදමකින් තොරව නිසැකවම දිගාසිරි විඳීමටත් අවස්තාව උදා වේ.
 
සටහන- මාධවී ධර්මරත්න

RECOMMEND POSTS