ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට දින 4 ක්
තමන් මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාව සහ සාම සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට, හමාස් සංවිධානයට දින 3 ක් හෝ 4 ක් ලබා දෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
‘ඇමෙරිකාව සකස් කළ සටන් විරාම සාම වැඩපිළිවෙළ ගාසා තීරයේ හමාස් සංවිධානයට අප යොමු කර තිබෙනවා. ඉදිරි දින 3 හෝ 4 ඇතුළත හමාස් සංවිධානය එය පිළිගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අප බලා සිටිනවා’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
‘අපේ සාම සැලැස්ම හමාස් සංවිධානය පිළිගත්තොත්, එය ඔවුන්ගේ යහපතට හොඳයි. නැතිනම් එය ඔවුන්ගේ අවසානය වීමට ද ඉඩ තිබෙනවා’ යැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.
ට්‍රම්ප් පරිපාලනය මෙම සටන් විරාම සාම යෝජනාව සකස් කර ඇත්තේ, සෞදිය, තුර්කිය, කටාර් රාජ්‍යය ආදී මැදපෙරදිග රටවල් ද සම්බන්ධ කර ගනිමිනි.
ගාසා තීරය පලස්තීනුවන්ට දී, ඊශ්‍රායල හමුදා මුලුමනින්ම ගාසා තීරයෙන් ඉවත් වීම, හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා වහා නිදහස් කිරීම, හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය අවි බිම තැබීම ආදී කොන්දේසි මාලාවක් මෙම සටන් විරාම ගිවිසුමට ඇතුළත් වෙයි.
පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද සහභාගී විය. සමුළුවෙන් පසු නෙදන්යාහු සහ ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. එහිදී මම සටන් විරාම යෝජනාව සහ සාම සැලැස්මට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ අනුමැතිය හිමිවිය.
නෙදන්යාහු කටාර් අග්‍රාමාත්‍යවරයාගෙන් සමාව ඉල්ලීමක් කළේ ද ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේ සාකච්ඡා කරමින් සිටියදීය.
ධවල මන්දිරයේ ට්‍රම්ප් අසල අසුන් ගෙන සිට නෙදන්යාහු කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල් රහ්මාන් අල් තානී දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම සිදුවිය. එහිදී හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් මීට දින කීපයකට පෙර ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් නෙදන්යාහු සමාව ඉල්ලීමක් කළේය. ඒ, ට්‍රම්ප් ඉදිරියේය.
අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ අණ පරිදි, ඊශ්‍රායල හමුදා දෝහා නුවර හමාස් නායකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන්, කටාර් හමුදා නිලධාරියකු ද ජීවිතක්ෂයට පත්විය. එය හිතාමතා කළ දෙයක් නොවේ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කාටාර් අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළේය.
තම අභිමතය පරිදි, කටාර් රාජ්‍යයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද තමන් සමාව ගන්නා බවත්, ඒ ගැන කනගාටු වන බවත් කටාර් එමීර්වරයා හමුවේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
(එන්.ඩී.ටීවී.)