මොකක්ද මේ ‘NB.1.8.1’ ?



මේ වනවිට අප රටෙන් සහ ලොව නන්දෙසින් හමුවී ඇති NB.1.8.1 වයිරසය,  COVID-19 වයිරසයේ නව උප ප්‍රභේදයයි. මෙය ‘ඔමික්‍රෝන්’ කොරෝනා වයිරස ප්‍රභේදයේ, JN.1 කාණ්ඩයේ XDV.1.5.1 නමැති ප්‍රභේදයෙන් බිහිවූවකි. වෙනත් වචනවලින් කීවොත්, NB.1.8.1 යනු විකෘතිකරණයට ලක් වුණු COVID-19 වයිරස මුසුවකි. මේ හේතුව නිසා ‘NB.1.8.1’ ඉක්මනින් ව්‍යාප්ත වීම, එසේත් නැතිනම් බෝ වීම ඉතා වේගවත්ය. ‘NB.1.8.1’  ගැන ද ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ට අනුව, මෙම ප්‍රභේදය, ‘නිරීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක්’ ලෙස සැලකෙයි.

ජානමය වශයෙන් වයිරස හඳුනා ගැනීම සිදු කරන, ‘GISAID’ හෙවත් ‘ප්‍රධාන රෝග කාරක වයිරස ජානමය අනුක්‍රමයන්හි ගෝලීය දත්ත ගබඩාව’ පැහැදිලි කර ඇති ආකාරයට NB.1.8.1 වයිරසය මුලින්ම හඳුනා ගැනීම සිදුවූයේ 2025 අප්‍රේල් මාසය අවසන් වෙද්දීය. NB.1.8.1 කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සිදුවූයේ ආසියානු රටවලිනි. චීනය, තායිවානය, හොංකොං, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ පසුව අප අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයන් වාර්තා විය. පසුව වයිරසය ප්‍රංශයෙන්, ජපානයෙන්, ඕස්ට්‍රේලියාවෙන්, නෙදර්ලන්තයෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වීමට පටන් ගැනුණි. දැන් ඇමෙරිකාවෙන් පවා ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇත.

COVID-19 වයිරසය ආරම්භ වූයේ 2019 වසරේ නොවැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. COVID-19 වයිරසයේ සුලමුල තවමත් අබිරහසකි. එය මිනිසා විසින් නිර්මාණය කළ, වූහාන් නුවර පිහිටා ඇති වයිරස රසායනාගාරයෙන් කාන්දු වූවක් බව පැවැසෙයි. ඒත් එය සනාථ වී නැත. 2020 සහ 2021 COVID-19 ලොවට හිසරදයක් වූයේ ජීවිත බිලිගනිමිනි. ලහිලහියේ නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත් හේතුවෙන් වයිරසයේ සැර බාල වී ගියේය. එන්නත්කරණයත් සමග සාමූහික වශයෙන් ප්‍රතිශක්තියත් කිර්මාණය විය. වයිරසය සැර බාල වෙමින් නිර්මාණය වූ ප්‍රභේදය වන්නේ ‘ඔමික්‍රෝන්’ ය. බොහෝ දෙනකු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන ඇති බැවින්, NB.1.8.1 වයිරසයෙන් ලොකු බලපෑමක් සිදු නොවෙයි. හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වයිරසයෙන් බේරීමට ඇති ක්‍රමයයි.


RECOMMEND POSTS