මිතුරා සතුරා වීම



ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම මැදපෙරදිග කලාපයේ ප්‍රධාන ගැටලුකාරී තත්ත්වයකි. මේ රටවල් දෙකම කලාපයේ බලවත් රටවල්ය. ඉරානය ෂියා මුස්ලිම් රාජ්‍යයකි. මුස්ලිම් ලෝකය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ලෙස බෙදෙන්නේ සුන්නි සහ ෂියා මුස්ලිම් වශයෙනි. ලොව ප්‍රධානතම සහ එකම ෂියා මුස්ලිම් බමහුතරයක් වෙසෙන රාජ්‍යය වන්නේ ඉරානයයි. ඊශ්‍රායලය, ඉරානය සමඟ සසදද්දී, ඉතාමත් කුඩාය. ඊශ්‍රාලය යනු ලොව එකම යුදෙව් රාජ්‍යයයි.

පලස්තීන භූමිය දෙකඩ කරමින්, ඊශ්‍රායලය නමැති යුදෙව් රාජ්‍යය පිහිටුවීම සිදුවූයේ 1948 වසරේදීය. මෙය කලාපීය මුස්ලිම් රටවල විරෝධයට හේතු විය. පලස්තීනුවන් මුස්ලිම්වරුන්ය. පලස්තීනුවන්ගේ සිදුවුණු අසාධාරණය හේතුවෙන්, මුස්ලිම් රටවල් ඊශ්‍රායලය පිළිගත්තේ නැත. ඒ කාලයේ, ඉරානයේ සිටි ෂා රජු (Shah Mohammad Reza Pahlavi) ඊශ්‍රායලය සමඟ ඉතාමත් හොඳ සබඳතා පැවැත්වීය. ඊශ්‍රායලයට ඉරානයෙන් තෙල් ලැබුණු අතර, ඉරානයට ඊශ්‍රායලයෙන් තාක්ෂණික සහ කෘෂිකාර්මික සහය ලැබුණි. එපමණක් නොවෙයි, සෙසු අරාබි රටවල් අමතක කර, ඊශ්‍රායලය තමාගේ හොඳ මිතුරා ලෙස පිළිගත්තේ ද ඉරානයයි. කෙසේ නමුත්, 1979 දී ඉරාන ඉස්ලාමීය විප්ලවයත් සමඟ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. මිතුරා හතුරා විය. ෂා රජුගේ පාලයට පෙරළා දැමූ, ඉරාන උත්තරීතර ආගමික නායක අයාතොල්ලා රූහොල්ලා කමේනීගේ නායකත්වයෙන් යුත් නව ඉස්ලාමීය පාලනය, ඊශ්‍රායල මුස්ලිම්වරුන්ගේ සතුරකු ලෙස සලකන්න විය. ඊශ්‍රායලය සමඟ සියලු සම්බන්ධකම් කපා දැමීය. අද ඉරානයේ උත්තරීතර නායකයා අයතුල්ලා අලී කමේනීය.

ඉරාන විප්ලවයෙන් පසු, ඉරානය, පලස්තීන අරගලය වෙනුවෙන් ශක්තිමත් හඬක් නගන්න පටන් ගත්තේය. පලස්තීනුවන්ගේ ඉඩම් ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ඉරානය හඬ නගන්න විය. මේ නිසා ඉරානය, ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හවුති සහ පලස්තීනයේ හමාස් වැනි ඊශ්‍රායලයට විරුද්ධ සන්නද්ධ කණ්ඩායම්වලට මුදල්, ආයුධ සහ පුහුණුව ලබා දෙමින් සහයෝගය දක්වන්න විය. මේ කණ්ඩායම්, ඊශ්‍රායලයට සෘජු තර්ජන එල්ල කරන අතර, ඊශ්‍රායලය මේවා ඉරානයේ "නියෝජිත කණ්ඩායම්" (proxies) ලෙස සලකයි. ඉරානයේ එක් අරමුණක් වන්නේ මැදපෙරදිග කලාපයේ තමන්ගේ බලපෑම පුළුල් කර ගැනීමය. ඊශ්‍රායලය ඊට බාධාවක් බව ඉරානයේ විශ්වාසයයි. ඉරානයේ මේ ක්‍රියාකලාපය තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව ඊශ්‍රායලයේ විශ්වාසයයි.

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කරන බවට ඊශ්‍රායලය සහ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා නගයි. ඊශ්‍රායලය විශ්වාස කරන්නේ ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන්නේ නම්, එය ඊශ්‍රායලයේ පැවැත්මටම තර්ජනයක් වන බවය. ඉරානය තරයේ පවසා ඇත්තේ බලශක්ති අවශ්‍යතා වෙනුවෙන් ආරම්භ කළ තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම සාමකාමී අරමුණු සඳහා පවත්වාගෙන යන බවය. ඊශ්‍රායලය එය පිළිගන්නේ නැත. පසුගිය 13 වැනිදා ඊශ්‍රායලය ඉරානයේ ඉලක්ක සියයයකට වැඩි ගණනකට සැලැසුම්සහගතව, ක්‍රමාණුකූලව පහර දුන්නේය.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS