ට්‍රම්ප් පුටින් මිත්‍රත්ව උමඟ
එය කිසිවකු කිසිම ආකාරයකින් බලාපොරොත්තු වූවක් නොවෙයි. ඇමෙරිකාවත් රුසියාවත් යා කෙරෙන උමං මාර්ගයක් ඉදිකිරීමට රුසියාව යෝජනා කර ඇති අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය ඊට යොමු වී අවසන්ය. උමං මාර්ගය, ට්‍රම්ප් පුටින් මිත්‍රත්ව උමඟ ලෙස නම් කළ යුතු බවත්, දුම්රිය මාර්ගයක් සහිතව මුහුද යටින් ඉදිවන උමඟ ඇමෙරිකාව සහ රුසියාව අතරේ ශක්තිමත් මිත්‍රත්වයක් සහ වෙළෙඳ සබඳතා නිර්මාණය කරනු ඇති බවත් රුසියාව පවසයි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට පැමිණීමට ඔන්න මෙන්න කියා තිබියදී, ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. ට්‍රම්ප්ට අනුව මෙය ‘ඉතා ඵලදායී’ කතාබහකි. රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, තවමත් ඔහුට එය සාර්ථක කර ගැනීමට හැකි වී නැත. පසුගිය අගෝස්තුවේ, ට්‍රම්ප් සහ පුටින් අතර හමුවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලෙස්කාවේ දී පැවැත්විණි. ‘සාමයට කැමැතියි’ යැයි කියමින් සමුළුව අවසානයේ පුටින් ට්‍රම්ප්ට පැවැසුවත්, යුක්රේනය සහ යුක්රේනයට සහාය දක්වන බටහිර යුරෝපා රටවල කොන්දේසිවලට පුටින් එකඟ වූයේ නැත. ඒ අනුව යුද්ධය අවසන් නොවුණු අතර රුසියන් හමුදාව පහර දී යුක්රේනය භූමිය ඔවුන් සතු කර ගන්නට විය. මෙය ට්‍රම්ප්ගේ දැඩි කනස්සල්ලටත් අප්‍රසදායටත් හේතුවක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත.
පසුගිය දා ට්‍රම්ප් සහ පුටින් අතරේ, ‘ඉතා ඵලදායී’ දුරකතන සාකච්ඡාව පැවැත් වූයේ මෙවැනි තත්වයක් යටතේය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට අදාළව තවත් සාකච්ඡාවක් පැවැත්වීමට රුසියන් ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ අතර, මෙවර එම සාකච්ඡා සඳහා තෝරා ගැනුනේ හංගේරියාවේ බුඩාපේස්ට් අගනුවරය. හමුවට දිනයක් තීරණය නොවුණත්, ඉක්මනින්ම හමුව පැවැත්වෙනු ඇතැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. ට්‍රම්ප් සහ පුටින් අතරේ, ‘ඉතා ඵලදායී’ මෙම දුරකතන කතාබහ පැවැත්වූයේ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඔහුගේ නියෝජිතයන් ද පිරිවරාගෙන ධවල මන්දිරයට පැමිණීමට දිනයකට පෙරය.
සෙලෙන්ස්කී පැමිණියේ, ට්‍රම්ප්ගෙන් විශේෂ යමක් ඉල්ලීමටය. ට්‍රම්ප්, උප ජනාධිපති ජේඩි වැන්ස්, ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුදා ප්‍රධානීහු හමුවට සහභාගී වූහ. සාකච්ඡා මේසයේ අනෙක් පස අසුන් ගත්තේ සෙලෙන්ස්කී සහ ඔහුගේ නියෝජිත කණ්ඩායමටය. තෝරාගත් මාධ්‍යවේදීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. සෙලෙන්ස්කී පැමිණ තිබුණේ ඇමෙරිකාව සතුව ඇති නිවැරදි ඉලක්කයට විදිය හැකි, සතුරු ඉලක්ක සැණින් විනාශ කළ හැකි, ටමහෝක් වර්ගයේ මිසයිල තම හමුදාවට දෙන්නැයි ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කරමිණි. “සාමය තමයි වැදගත්. අපටත් ඕනෑ සාමය. ඒත් රුසියාවෙන් එල්ල වන ප්‍රහාර නැවැත්වීමට නම්, අපට ටමහෝක් මිසයිල ඕනෑ.” යැයි සෙලෙන්ස්කී පැවැසීය. ටමහෝක් මිසයිල යනු ඇමෙරිකා නාවික හමුදාව බහුලව භාවිතයට ගන්නා, දිගු දුර, කෲස් මිසයිල වර්ගයකි. මේවා සැලසුම් කර ඇත්තේ නෞකා හෝ සබ්මැරීනවලින් දියත් කර ඉතා ඈත පිහිටි ගොඩබිම් ඉලක්ක වෙත නිවැරදිව පහර දීම සඳහාය. ගොඩබිම සිට ගොඩබිම ප්‍රහාර සඳහා ද මේවා යොදා ගනී. ශබ්දයේ වේගයට වඩා අඩු වේගයකින් පියාසර කළ හැකි මෙම මිසයිල, රේඩාර් මඟ හැර යයි. විවිධ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය මෙම මිසයිලවලට සවි කළ හැකි අතර නිවැරදි ඉලක්කයට පහර දීම ද කළ හැකිය.
ටමහෝක් මිසයිල යුක්රේන හමුදාව අතට පත් වීම රුසියාවට ගැටලුවක් බව අමුතුවෙන් කිව යුතු නැත. ට්‍රම්ප් සමඟ යළිත් වරක් මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට, රුසියන් ජනාධිපති පුටින් තීරණය කළේ ඒ නිසා වන්නට ඇත. කෙසේ නමුත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට ආපසු යෑමට සිදුවූයේ හිස් අතිනි. යුක්රේන හමුදාවට ටමහෝක් මිසයිල ලබා දීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය. මෙය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ කනගාටුවට හේතුවක් විය. ට්‍රම්ප්, යුක්රේනයට ටමහෝක් මිසයිල ලබා නොදීමට තීරණය කළ සැණින්, ක්‍රෙම්ලීනය (ක්‍රෙම්ලීනය යනු රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි රුසියානු ජනාධිපතිවරයාගේ නිල නිවස සහ රුසියානු රජයේ පරිපාලන මධ්‍යස්ථානයයි.) ඇමෙරිකාවට හරි අපූරු අදහසක් යෝජනා කළේය. ට්‍රම්ප් ප්‍රටින් මිත්‍රත්ව උමඟ යනු එම අපූරු අදහසය.
මෙම මිත්‍රත්ව උමං මාර්ගය ඇමෙරිකාවත් රුසියාවත් වෙන් කරන බේරිං සමුද්‍ර සන්ධියේ මුහුදු පතුලෙන් ඉදිකිරීමට යෝජනා කර ඇත්තේ, ආයෝජන කටයුතු පිළිබඳ ක්‍රෙම්ලීන විශේෂ නියෝජිත කිරිල් දිමිත්‍රීව්ය. ඔහු ඔහුගේ එක්ස් ගිණුම ඔස්සේ මෙම උමඟ ඉදි කිරීමට අදාළ සිතියම් පවා ප්‍රසිද්ධියට පත් කර ඇත. දුම්රිය මාර්ගයක් සහිත මෙම උමඟ ඉදි කිරීමේ කටයුත්ත සඳහා ඇමරිකානු ප්‍රකෝටිපති එලොන් මස්ක්ගේ ‘ද බේරිං‘ සමාගමේ සහාය ලබා ගැනීම කළ හැකි යැයි ද දිමිත්‍රීව් යෝජනා කර ඇත. උමං මාර්ගය කිලෝමීටර් 112 ක් දිගින් යුක්ත වේවි යැයි ද දිමිත්‍රීව් පෙනේවා දී ඇත. උමං මාර්ගය ඉදි කිරීමට, ඇමෙරිකන් ඩොලර් බිලියන 8 ක් වැය වනු ඇත. දිමිත්‍රීව්, රුසියානු සෘජු ආයෝජන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරියා ද වෙයි. ඔහු තවත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ ඇමෙරිකාව, රුසියාව සහ චීනය සමඟ එක්ව ආක්ටික් කලාපයේ හයිඩ්‍රොකාබන් ව්‍යාපෘති සඳහා සම්බන්ධ විය යුතු බවටය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව භෞතිකව වෙන් කරන සමුද්‍ර සන්ධිය බේරිං සමුද්‍ර සන්ධියයි. මෙම සන්ධිය, මෙනමින් නම් කර ඇත්තේ 1728 දී මෙහි යාත්‍රා කළ ඩෙන්මාර්ක ජාතික රුසියානු ගවේෂකයෙකු වන විටස් බේරිං සිහි කරමිණි. මෙම සමුද්‍ර සන්ධියෙන්, ආසියා මහාද්වීපයේ පිහිටි රුසියාවේ චුක්චි අර්ධද්වීපය සහ උතුරු ඇමෙරිකා මහාද්වීපයේ පිහිටි ඇමෙරිකාවේ ඇලස්කාවේ සෙවර්ඩ් අර්ධද්වීපවෙන් කරයි. පැසිෆික් සාගරයේ කොටසක් වන බේරිං මුහුද සහ ආක්ටික් සාගරයේ කොටසක් වන චුක්චි මුහුද සම්බන්ධ වන්නේ ද මෙම බේරිං සමුද්‍ර සන්ධියෙනි. සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානයේ ඇමෙරිකාව සහ රුසියාව අතර දුර කිලෝමීටර 85 (සැතපුම් 53) ක් පමණය. මෙය සාපේක්ෂව නොගැඹුරු සමුද්‍ර සන්ධියක් වන අතර, එහි සාමාන්‍ය ගැඹුර මීටර 30 සිට 50 දක්වා පමණ යැයි ද පැවැසෙයි. සමුද්‍ර සන්ධියේ මධ්‍යයේ කුඩා දූපත් දෙකක් පිහිටයි. කුඩා ඩයෝමීඩ් දූපත සහ මහා ඩයෝමීඩ් දූපත යනු එම දූපත්ය. කුඩා ඩයෝමීඩ් දූපත අයත් වන්නේ ඇමෙරිකාවටය. මහා ඩයෝමීඩ් දූපත අයත් වන්නේ රුසියාවටය. මෙම දූපත් දෙක අතර දුර ඇත්තේ කිලෝමීටර් 3.8 කි. ජාත්‍යන්තර දින රේඛාව මෙම දූපත් දෙක අතරින් ගමන් කරයි. එබැවින්, දූපත් දෙක අතර ඉතා සුළු දුරක් තිබුණත්, ඒවායේ වේලාව දිනකින් වෙනස් වෙයි.
බීබීසී ඇසුරිනි