ගාසාවට සාමය රැගෙන ජනපති ට්‍රම්ප් ඊජිප්තුවේ



ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ගාසා තීරයට සාමය උදා කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සමුළුවක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේත් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසිගේත් ප්‍රධානත්වයෙන් හෙට (13) ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී පැවැත්වෙයි.

මෙම ජාත්‍යන්තර සමුළුවට, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ඇතුළු මැදපෙරදිග කලාපීය රටවල රාජ්‍ය නායකයෝ මෙන්ම බටහිර යුරෝපා රටවල නායකයෝ ද සහභාගී වෙති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රටවල් 20 ක නායකයන් සමුළුවට සහභාගී වන බවය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මිලෝනී, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද සමුළුවට සහභාගී වන බව දැනුම් දී ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ඩෙන්ජමින් නෙදන්යාහු හෝ හමාස් සංවිධානයේ නියෝජිතයන් හෝ සමුළුවට සහභාගී වන බවක් නිවේදනය කර නැත.

මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, මැදපෙරදි රටවල ද සහාය ඇතිව, ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් යුද්ධය නිමා කිරීමට සකස් කළ සටන් විරාමය සහ සාම සැලැස්ම ක්‍රියාත්මක වී අවසන්ය. හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 40 ක් සිටින බවත්, ඔවුන්ගෙන් ජීවතුන් අතර සිටින්නේ 20 ක් පමණක් බවත් පැවැසෙයි.

ජීවතුන් අතර සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් හෙට (13) දිනයේ නිදහස් කිරීමට හමාස් සංවිධානය සටන් විරාමයට අදාළව එකඟත්වය පළ කර ඇත. ඊට අමතරව, ඊශ්‍රායල බන්ධනාගාරවල සිරදඬුවම් විදින පලස්තීනුවන් සහ රැඳවුම් බාරයේ සිටින පලස්තීනුවන් නිදහස් කිරීමට ඊශ්‍රායල රජය එකඟත්වයක් පළ කර ඇත.

ට්‍රම්ප් ඊශ්‍රායලයේත්, ාසා තීරයේත් සංවිචාරය කිරීමට ද සූදානමින් සිටී. ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව ඇමතීමට ද ට්‍රම්ප්ට ඇරැුයම් ලැබී ඇත. ඊශ්‍රායලය ට්‍රම්ප් සලකන්නේ යුදෙව් වැසියන්ගේ එකම සහ හොඳම මිතුරා ලෙසය. ඊශ්‍රායලය යනු ලොව එකම යුදෙව් රාජ්‍යයයි.


RECOMMEND POSTS