ගාසාව යළි ඇවිලෙයි



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ආරම්භ කළ සටන් විරාමයත්, සාම ගිවිසුමත් කඩ කළේ යැයි හමාස් සංවිධානයට චෝදනා නගමින්, ඊශ්‍රායලය යළිත් වරක් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ගාසා තීරයේ ගාසා නගරයේ සබ්රා පළාතට සහ කාන් යූනුස් නගරයට ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළ බවත්, එම ප්‍රහාරවලින් පලස්තින සිවිල් වැසියන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්ය. එම ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 50 ක් යැයි ද පැවැසෙයි.

හමාස් සංවිධානය සටන් විරාමය සහ සාම සැලැස්ම කඩ කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද දැනුම් දී ඇතැයි පැවැසෙයි. ට්‍රම්ප් මේ වනවිට සිටින්නේ ආසියානු සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියාවේය.

ට්‍රම්ප්ගේ ගාසා තීරයට සටන් විරාමයක් සහ සාම සැලැස්මක් සකස් කර දි ඇත්තේ කටාර් රාජ්‍යය, ඊජිප්තුව, සෞදි අරාබිය සහ තුර්කියේ ද මැදිහත් වීමෙනි.

සටන් විරාමය සහ සාම සැලැස්ම යටතේ හමාස් ග්‍රහණයේ සිටි සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සිදුවුණු අතර, මියගිය ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්ගේ සිරුරු ද ඊශ්‍රායලයට බාර දීම සිදුවිය.

සටන් විරාමය සහ සාම සැලැස්ම කරුණු 20 කින් සමන්විතය. පලස්තීනුවන් වෙනුවෙන් ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බව එහි පැහැදිලිව සඳහන් වෙයි. ඊට අමතරව, ගාසාව පාලනය කරන හමාස් සටන්කාමීන් නිරායුධ විය යුතු බව ද සාම වැඩපිළිවෙළේ එක් කොන්දේසියකි. නිරායුධ වීම සම්බන්ධයෙන් හමාස් සටන්කාමීන් මෙතෙක් කැමැත්ත පළ කර නැත.


RECOMMEND POSTS