ලොව ලොකුම කෞතුකාගාරය



කෞතුකාගාරයක් ගැන කියන්නයි මේ හදන්නේ. ලොව විශාලතම කලා කෞතුකාගාරය ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ලූව්ර කෞතුකාගාරයයි. ලූව්ර කෞතුකාගාරයේ ප්‍රමාණය වර්ග මීටර් 72,735 කි. දැන්, තවත් විශාල කෞතුකාගාරයක් විවෘත වී ඇත. අභිනවයෙන් විවෘත වුණු මෙය ලොව විශාලතම ප්‍රරාවිද්‍යා කෞතුකාගාරයයි. මෙහි ප්‍රමාණය වර්ග මීටර් 81,000 කි.

ලෝකයේ පැරැණි පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන තවමත් නොනැසී පවතින්නේ ගීසා හි යෝධ පිරමීඩයයි. මේ මහා පිරමීඩය ඇත්තේ ඊජිප්තුවේය. පුරාණයේ ඊජිප්තුව හැඳින්වූයේ මිසරය නමිනි. මිසරය පාලනය කළ රජවරුන් හැඳින්වූයේ පාරාවන් ලෙසය. ගීසා මහා පිරමීඩයත්, ඒ අසලින් ඉදි කළ සෙසු පිරමීඩ දෙකත් හුණු ගල්වලින් කළ දැවැන්ත නිර්මාණය. මේවා පාරාවන්ගේ සොහොන් ගෙවල්ය. ගීසා මහා පිරමීඩය කුෆු (Khufu) පාරාවෝ වෙනුවෙන් ඉදි කරන ලද්දක් බව පැවැසෙයි. අද මේ පිරමීඩය අසල, නූතන යුගයේ සංස්කෘතික සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි, ඒ මහා කෞතුගාරය ඉදිකර එය ලෝ වැසියන්ට විවෘත වී අවසන්ය. ඊජිප්තුවේ අගනුවර ලෙස සැලකෙන කයිරෝ නගරයට ද ආසන්නව මෙම කෞකුගාරය නම් කර ඇත්තේ ග්‍රෑන්ඩ් ඊජිප්ෂියන් මියුසියම් (Grand Egyptian Museum - GEM) යනුවෙනි.

මෙම නව කෞතුකාගාරයේ, පූර්ව-රාජවංශික යුගයේ සිට ග්‍රීක සහ රෝම යුගය දක්වා වූ ඊජිප්තු ඉතිහාසයේ සහස්‍ර හතක් (වසර 7,000ක්) පුරා විහිදෙන කෞතුක වස්තු 100,000 ක් පමණ ප්‍රදර්ශනය කෙරේ. දශක ගණනාවක සැලසුම් කිරීමෙන් පසු, මෙම මහා කෞතුකාගාරය ඉදි කිරීමට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.2 කි. අඩි 36 ක් (මීටර් 11 ක්) උස සහ ටොන් 83 ක් බරැති දෙවන රැම්සෙස් පාරාවෝගේ දැවැන්ත ප්‍රතිමාව කෞතුකාගාරයේ ප්‍රධාන ශාලාවේ (Grand Hall) දකින්න ලැබෙයි. වාර්ෂිකව මිලියන 5 ත් 7 ත් අතර සංචාරකයන් පිරිසක් කෞතුකාගාරය නැරැඹීමට පැමිණෙනු ඇතැයි අපේකෂා කෙරේ. පසුගිය නොවැම්බර් පළමු වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් කෞතුකාගාරය විවෘත විය. ඒ, පුරාණ මිසරයේ අභිමානය විදහා දක්වමිනි. කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවය සජීවීව ලොව පුරා විදෙස් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. කෞතුකාගාරය මගින් ඊජිප්තුවේ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය (cultural tourism) ඉහළ නැංවීමට සහ 2032 වන විට වාර්ෂිකව සංචාරකයින් මිලියන 30 ක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එදිනෙදා පැමිණෙන සංචාරකයන් ගණන 15,000 ත් 20,000 ත් අතර අගයක් ගනු ඇතැයි ද පැවැසෙයි.

ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයකු වන හොස්නි මුබාරක්ගේ පාලන සමයේදී, එනම් 1992 දී මුලින්ම යෝජනා වූ මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2005 වසරේදීය. ඇස්තමේන්තු අනුව, ඉදිකිරීම් අවසන් කිරීමට ගත වූ කාලය මහා පිරමීඩය තැනීමට ගත වූ කාලයට ආසන්න වී ඇත. කෞතුකාගාරයේ, ප්‍රදර්ශන ශාලා 12 ක්, අවන්හල් 8 ක්, සංරක්ෂණ සහ ප්‍රතිසංස්කරණාගාර (conservation labs), එළිමහන් උද්‍යාන සහ ත්‍රිමාණ සිනමා ශාලාවක් ඇතුළු නවීන පහසුකම් රැසක් ඇත. කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඊජිප්තුව මුහුණ දුන් දේශපාලන අර්බුදය සහ මූල්‍ය අර්බුද හරස් විය. ජනාධිපති මුබාරක් බලයෙන් පහ කිරීම, දේශපාලන නොසන්සුන්තා, කලාපීය යුද ගැටුම් සහ කොවිඩ් 19 වසංගතය ද කෞතුකාගාරයේ ඉදිකිරීම්වලට බාධා එල්ල විය.

“මේක ඇත්ත වශයෙන්ම සිහිනයක් සැබෑවීමක්. මේ කෞතුකාගාරය කෙසේ හෝ අවසානයේ විවෘත කිරීම ගැන මා සතුටු වෙනවා” යැයි ඊජිප්තුවේ හිටපු දිගුකාලීන සංචාරක හා පුරාවස්තු අමාත්‍ය ආචාර්ය සහි හවාස් පවසයි. ආචාර්ය සහි හවාස් පැහැදිලි කරන්නේ, ස්මාරක සංරක්ෂණය සහ කෞතුකාගාර නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඊජිප්තු වැසියන් සම කළ නොහැකි බවය. අතීතයේ, ඊජිප්තුවෙන් කොල්ල කෑ පුරාවස්තූන් පමණක් නොවෙයි; වෙනත් බටහිර රටවල ප්‍රධාන කෞතුකාගාරවල ඇති ඊජිප්තු කෞතුක භාණ්ඩ ආදී සියල්ල ග්‍රෑන්ඩ් ඊජිප්ෂියන් කෞතුකාගාරයට ගෙන්වා ගැනීම කළ යුතු බව සහි හවාස් අවධාරණය කර ඇත. ඊජිප්තු රජයේ ද අවධානය මීට යොමු වී තිබේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට ඇති සුප්‍රසිද්ධ රොසෙටා ස්ටෝන්, ලූවර් කෞතුකාගාරයේ ඇති රාශි චක්‍රය සහ බර්ලින් කෞතුකාගාරයේ ඇති නෙෆර්ටිටි රැජනගේ ප්‍රතිමාව මෙසේ ආපසු ඊජිප්තුව විසින් ඉල්ලා ඇති අමිල කෞතුක වස්තූන්ය.

නව කෞතුකාගාරයේ ප්‍රධාන ආකර්ෂණය වනු ඇත්තේ බාල රජු වූ තුතන්කාමන් (Tutankhamun) සම්පූර්ණ සොහොන් ගබඩාවේ අන්තර්ගතයයි. බ්‍රිතාන්‍ය ඊජිප්තුවේදියකු වූ හොවාර්ඩ් කාටර් විසින් සොයා ගන්නා ලද දා සිට, මෙම සමස්ත එකතුවම එකවර ප්‍රදර්ශනයට තබන පළමු අවස්ථාව මෙයයි. තුතන්කාමුන්ගේ දීප්තිමත් රන් වෙස්මුහුණ, ඔහුගේ සිංහාසනය සහ යුධ රථ ද ස ප්‍රදර්ශනයට තබා ඇත. තුතන්කාමන් (Tutankhamun) යනු පුරාණ ඊජිප්තුවේ 18 වන රාජවංශයට අයත් වූ පාරාවෝවරයෙකි. ඔහු අද ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ ඔහුගේ කෙටි පාලන සමය නිසා නොව, 1922 දී සම්පූර්ණයෙන්ම නොකෙලෙසූ සොහොන් ගැබ සොයා ගැනීම නිසාය. ඔහු මුලින් හැඳින්වූයේ තුතන්කාටෙන් (Tutankhaten) ලෙසය. ඔහු ක්‍රි.පූ. 1332 සිට 1323 දක්වා පමණ පාලනය කළ බව විශ්වාස කෙරේ. ඔහු සිහසුනට පත්වන විට වයස අවුරුදු 9ක් හෝ 10ක් පමණ විය. එබැවින් ඔහු 'ළමා රජු' (Boy King) ලෙස ද හැඳින්වෙයි. ඔහු බලවත් පාරාවෝවරයකු වූ අක්නාටන්ගේ (Akhenaten) පුත්‍රයා ලෙස බොහෝ විට සැලකෙයි. ඔහුගේ පියා අක්නාටන් විසින් හඳුන්වා දුන් 'ආතෙන්' (Aten) නම් තනි දෙවියන් ඇදහීමේ ඒක දේව සංකල්පය ඔහු අතහැර දැමීය. තුතන්කාමන් ඔහුගේ නම 'තුතන්කාමන්' ලෙස වෙනස් කර ගනිමින්, 'අමුන්-රා' (Amun-Ra) ඇතුළු සාම්ප්‍රදායික ඊජිප්තු දෙවිවරුන්ගේ ඇදහිල්ල යළි ස්ථාපිත කළේය. තුතන්කාමන් අවුරුදු 19 ක් පමණ වන විට අනපේක්ෂිත ලෙස මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව පිළිබඳව මතභේද පවතී.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS