අලස සුවය

එදිනෙදා ජීවිතය නිසා ඔබ සිටින්නේ විඩාබරවද? ඒ විඩාව නිසා ඔබ හෙම්බත් වී සිටිනවාද? 21 වැනි සියවසේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අප කවුරු කවුරුත් හෙම්බත් නොවී කොහොමද? අපේ ජීවිත, අපේ රැකියා ඉතාමත් සංකීර්ණ වී ඇත. බාධක මැද ඒ සියලු කටයුතු සම්පූර්ණ කරමින්, අපේ ඉලක්ක ජයග්‍රහණය කිරීම කාගේත් අරමුණය. ඒත් විඩාබරව හෙම්බත් වෙද්දී, කායිකව මෙන්ම මානසිකව ද අප දුර්වල වෙයි. එය හොඳ දෙයක් නොවෙයි. ලෝකයේ සේවකයන් සිවු දෙනකු ගත් විට ඔවුන් සිටින්නේ කායිකව මෙන්ම මානසිකව ද හෙම්බත්ව යැයි වෛද්‍යවරු පවසති. අප අපට දැනෙන ආතතිය අපගේ මිතුරා කර ගත යුතු යැයි සිතයි. එහි වරදක් නැත. ඇතැම්විට ඒකාකාරී ජීවිතයේ, අපට අපේ අරමුණු කරා ළං වීමට ඒ ආතතිය ඉවහල් වන අවස්ථා ද ඇත. ඒත් එහි සෘණාත්මක පැත්තක් ද ඇත. මානසික සෞඛ්‍යයට එහි ආතතිය දරුණු ලෙස බලපෑම් එල්ල කරයි. ආතතිය දෙගුණ තෙගුණ වන්නේ කාංසාවට මුල පුරමිණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙසේ හෙම්බත් වූවන්ගේ සංඛ්‍යාව සියයට 43 කි. ඉන්දියාවේ මෙය සියයට 59 කි. දකුණු කොරියාවේ සියයට 70 කි.
නෙදර්ලන්ත වැසියන් මෙම ‘හෙම්බත්වීම’ට විසඳුමක් සොයාගෙන ඇත. එය හැඳින්වෙන්නේ ‘නික්සෙන්’ යනුවෙනි. ‘නික්සෙන්’ යනු කිසිවක් නොකර සිටීමය. ‘නික්සෙන්’ යන වදන නිර්මාණය වී ඇත්තේ ඕලන්ද නැතිනම් ලන්දේසි වදනක් වන ‘නික්ස්’ යන වදනින්ය. ‘නික්ස්’ යන්නෙහි අරුත, ‘මොකවත් නැහැ’, ‘හිස්’ යන්නය. ඒ අනුව, නෙදර්ලන්ත වැසියන්, විශේෂයෙන් එරට තරුණ තරුණියන් භාවිතයට ගන්නා කලාව ‘නික්සන්’ ය. ‘නික්සන්’ යනු ‘කිසිවක් නොකර සිටීමේ කලාව’ ය. වෙහෙසකාරී දෛනික ජීවිතයෙන් මොහොතකට ගැලවී, පියවරක් පසුපසට තබා, නිශ්චලව සහ විවේකීයව සිටීම ‘නික්සෙන්’ ය. මෙම ‘නික්සෙන්’ සංකල්පය, දිගු කලක් තිස්සේ ඕලන්ද (ලන්දේසි) සංස්කෘතියේ කොටසක් ලෙස පැවතුන ද, එය නවීන ගෝලීය ජීවන රටා ප්‍රවණතාවක් ලෙස ප්‍රචලිත වී ඇත්තේ මෑත කාලයේය. නිවැරදිව කීවොත් 2010 වසර අවසානයේය.
කාර්යබහුලත්වය සහ නිරන්තර ඵලදායිතාව අගය කරන නූතන සමාජයේ, මානසික ආතතිය ඉහළ යෑමට නොයෙක් විදියේ නව ක්‍රම කරළියට පැමිණෙද්දී, ‘නික්සෙන්’ ඒ අතරින් ප්රමුඛ ස්ථානයට පත් විය. ‘කිසිවක්’ නොකර සිටිනවා යනු අර්ථ දක්වන්නේ කෙසේද? එය පහසු නොවෙයි. හේතුව, අප කවුරු කවුරුත්, සෑම වේලාවකම කුමක් හෝ දෙයක් කරමින් සිටී. අප නිදා සිටිද්දී ද යමක් කරයි. ඒත් ‘නික්සෙන්’ යනු අරමුණකින් තොරව යමක් නොකර සිටීමය. මෙහිදී සිදුවන්නේ, මනස නිස්කලංකව තබා ගැනීමකි. එයින් අදහස් වන්නේ ඔබ බිත්තියක් දෙස ඔහේ බලා සිටිනවා යන්න නොවෙයි. ‘නික්සෙන්’ යනු භාවනානුයෝගීව සිටීමක් ද නොවෙයි. භාවනානුයෝගීව සිටිද්දී ඔබේ මොළය ක්‍රියාත්මක වෙයි.
‘නික්සෙන්’ යනු මනස නිදහස්ව, විවේකීයව තබා ගැනීමය. මොළයේ ක්‍රියාකාරීත්වය ඉබේට සිදුවීමට ඉඩ දීමය. එසේ කිරීමේදී මොළය ‘ඕෆ්’ කර දැමීමක් සිදු වෙයි. ‘නික්සෙන්’ හෙවත් මොකවත් නොකර සිටීමේ කලාව ප්‍රගුණ කිරීමේ දී සංගීතයට සවන් දිය හැකිය. විනෝදාංශයක් ලෙස ගෙතීම් (නිටිං) කළ හැකිය. ‘නික්සෙන්’ හෙවත් ‘කිසිවක් නොකර සිටීමේ කලාව’ තම තමන්ට රිසි පරිදි වෙනස් කර ගැනීමට හැකියාව ඇත. ජනේලයකින් පිටත පරිසරය දෙස ගහකොළ දෙස බලා සිටීම කළ හැකිය. සිතුවලි බැහැර කරමින්, කිසිදු විශේෂ අරමුණක් නැතිව ඇවිදීම වැනි දේ පවා නික්සෙන්ය.
විකාරයක් විහිළුවක් යැයි පෙනුනත්, ‘නික්සෙන්’ හෙවත් ‘කිසිවක් නොකර සිටීමේ කලාව’ මේ වන විට ලොව කාගේත් අවධානයට ලක්වී අවසන්ය. ‘නික්සෙන්’ හෙවත් ‘කිසිවක් නොකර සිටීමේ කලාව’ උගන්වන පාඨමාලා පවා යුරෝපා රටවල ඇත. ‘කිසිවක් නොකර සිටින හැටි’ ඉගැන්වීමට විශේෂඥයෝ ද බිහිවී සිටිති. මේ පාඨමාලාවලින් උගන්වන්නේ, කිසිවක් නොකර සිටින්නේ කෙසේදැයි යන්නය.
ජාත්‍යන්තර මාධ්‍ය (විශේෂයෙන් 2019 වසරේදී) මෙම සංකල්පය පිළිබඳව අවධානය යොමු කිරීමත් සමඟ, මේ ගැන ලොකු කථිකාවතක් නිර්මාණය විය. ලන්දේසි කතුවරියක වන ඕල්ගා මේකින් විසින් 2021 දී පළ කළ ‘නික්සෙන් හෙවත් කිසිවක් නොකර සිටීමේ ලන්දේසි කලාව’ නමැති කෘතිය ලොව අතිශය ජනප්‍රියය. එයින් මෙම සංකල්පය තවදුරටත් ලොව පුරා ප්‍රචලිත කිරීමට විශාල දායකත්වයක් සැපයීය. නෙදර්ලන්ත ජාතිකයන් ලෝකයේ වඩාත්ම සතුටින් සිටින ජාතීන් අතර ඉදිරියෙන් සිටින පිරිසකි. ඔවුන්ගේ ජීවිතයේ සමබරතාවට සහ විවේකයට දෙන වැදගත්කම මෙම සංකල්පය සමඟ බැඳී පවතී.
නික්සෙන් සංකල්පයේ උපත නෙදර්ලන්තයෙන් සිදුවුවත්, මෙවැනි සංකල්පයක් ලොවට ඉදිරිපත් කර ඇත්තේ නෙදර්ලන්ත වැසියන් පමණක් නොවෙයි. ඩෙන්මාර්ක වැසියෝ ද මේ වනවිට මීට යොමු වී සිටිති. ඩෙන්මාර්ක වැසියන් මෙම ‘කිසිවක් නොකර සිටීමේ කලාව’ හඳුන්වන්නේ ‘හියු-ගූ’ යනුවෙනි. ‘හියු-ගූ’ යනු නිවසට සීමා වී, බැරෑරුම් කිසිවක් නොකර, සුවපහසුව නිවසට වී සිටීමය. මේ හා සමානව ‘ලෝගොම්’ යනුවෙන් තවත් ‘කලාවක්’ ද ඇත. ‘ලෝගොම්’ යනු ස්වීඩන වැසියන් විසින් පිළිපඳින මොකවත් නොකර සිටීමේ කලාවය. කිසිවක් නොකර, මනස විවේකීයව තබා ගනිමින්, මනස සන්සුන් කර ගැනීමට ‘ලෝගොම්’ ය.
‘නික්සෙන්’ හෝ වේවා, ‘හියු-ගූ’ හෝ වේවා, ‘ලෝගොම්’ හෝ වේවා මේ සෑම දෙයකම අවසන් ඉලක්කය වන්නේ කාර්ය බහුල විඩාබර ජීවිතයට ‘සැනසිල්ලක්’ දීමය. හැල්මේ දුවන ජීවිතයට තිරංග තද කිරීමකි. බටහිර මනෝ විද්‍යාඥයන්ට කිසිවක් නොකර සිටීම මගින් සිදුවන්නේ අපට විවේකයක් ලබා ගැනීමය. මෙම කෙටි විවේදක අපේ මනස නිරවුල් කරයි. ඉන්පසු අපට හොඳින් සිතීමට සලස්වයි. අපේ නිර්මාණශීලී හැකියාව ත්‍රීව කරයි. මානසික පමණක් නොව, කායික වාසි ද බොහොමය. ‘නික්සෙන්’ කලාව ප්‍රගුණ කිරීමෙන් වයසට යෑම අඩුවෙයි. මනස නිරෝගී නම්, මනස නිරවුල් නම්, සිතින් මෙන්ම ගතින් ද ඔබ තරුණ වෙයි. ඊට හේතුව නිරවුල් නිරෝගී මනස ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බැවිනි.
පෙර සදහන් කළ පරිදි, කාංසාව තුරන් වෙද්දී, ආතතිය පහවී යද්දී, ඔබේ නිර්මාණශීලී හැකියාව ඉස්මතු වෙයි. ඔබේ ‘මූඩ්’ වෙනස් වෙයි. බටහිර රටවල බොහෝ දෙනා ‘නික්සෙන්’ හෙවත් ‘කිසිවක් නොකර සිටීමේ කලාවට’ යොමු වන්නේ මේ නිසාය. ඒත් එය පහසු කටයුත්තක් නොවෙයි. ‘කිසිවක් නොකර සිටීම’ අපට අසීරුය. වැඩ ඇරී වැඩට යන කාන්තාවක හෝ මවක, ‘නික්සෙන්’ වැනි කලාවක් ප්‍රගුණ කරන්නේ කෙසේද? සමස්ථ මනුෂ්‍ය වර්ගයාගේ මොළය හැඩ ගැසී ඇත්තේ, සිතුවිලි උත්පාදනය වෙන්නේ, යමක් කිරීමය. ‘නික්සෙන්’, ‘කලාවක්’ යැයි කියන්නේ ඒ නිසාය. එය ප්‍රගුණ කරමින්, ඒ සම්බන්ධයෙන් කලාකරුවකු වීම, හැමෝටම කළ හැකි දෙයක් නොවෙයි. එය කළ හැක්කේ සුවිශේෂී කීප දෙනකුට පමණි. නික්සෙන් යනු ඵලදායිතාව සහ කාර්යබහුලත්වය උත්කර්ෂයට නංවන සමාජයකට එරෙහිව ශරීරයට සහ මනසට විවේකය සහ පරාවර්තනය සඳහා ඇති අවශ්‍යතා සිහිපත් කරන මෘදු සිහි කැඳවීමකි.
බීබීසී ඇසුරිනි

