මාධ්‍යවේදිනියට ට්‍රම්ප්ගෙන් බැණුම්



ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී පැවැති ද්වී පාර්ශ්වීක සාකච්ඡාවලින් පසු, සෞදි කුමරුන්ගෙන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලැබුණි. 

එම අවස්ථාවේදී, ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කශෝගී ඝාතනය සම්බන්ධයෙන් සෞදි කුමරුන්ගෙන් ප්‍රශ්න ඇසීමට යෑමේදී ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් ඇයට අපහාස කරමින් බැණ වැදුණේය.

ජමාල් කහෝගී යනු සෞදි ජාතික මාධ්‍යවේදියෙකි. මොහු සල්මාන් කුමරු නිර්දය ලෙස විවේචනය කළ අයෙකි. එබැවින් සෞදි රජ පවුලේ උදහසට ලක් වී සිටි ඔහු ඇමෙරිකාවට පිටුවහල් වී, ඇමෙරිකාවේ පුරවැසියකු වී, සෞදි-ඇමෙරිකන් මාධ්‍යවේදියකු ලෙස වොෂින්ටන් පෝස්ට් නමැති ප්‍රසිද්ධ ඇමෙරිකන් පුවත්පතට තීරු ලිපි රචනා කළේය. එසේ කළේ ද සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කරමිණි.

තෙවරක් විවාහ වී, තෙවැනි බිරිඳ ද දික්කසාද කිරීමට අවශ්‍ය ලියවිලිවලට අත්සන් තැබීමට 59 හැවිරිදි කශෝගී, 2018 ඔක්තෝබර් දෙවැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නගරය් සෞදි කොන්සල් කාර්යාගයට ගියේය. ඒ, ඔහුගේ නව පෙම්වතිය ද සමඟය. සෞදි කොන්සල් කාර්යාලයට ගිය කශෝගී එයින් පිටතට පැමිණියේ නැත. සෞදි සල්මාන් කුමරුන්ගේ ඒජන්තවරුන්, කශෝගී ඝාතනය කර, සිරුර දියකර විනාශ කර කිසිදු සාක්ෂියක් ඉතිරි නොකළ බව පසුව අනාවරණය විය. 

සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් කීප දෙනකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු අතර චෝදනාවලට වරදකරු වී සිරදඬුවම් පවා නියම විය. කුමරුන් කියා සිටියේ එම ඒජන්තවරුන් ඊට සම්බන්ධ වුවත්, තමන් ඒ ගැන කිසිවක් දැන නොසිටි බවය.

සෞදි කුමරු, ධවල මන්දිරයට පැමිණ ට්‍රම්ප් හමුවූ අවස්ථාවේදී, මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ ඒ.බී.සී. නාලිකාවේ මාධ්‍යවේදිනිය මේරි බෲස් ය. ට්‍රම්ප් ඇයට බැණ වැදුණේ ඒ.බී.සී. නාලිකාව බොරු පුවත් ප්‍රසිද්ධියට පත් කරන නාළිකාවක් බවට ද චෝදනා නගමිනි. සෞදි කුමරු දවල මන්දිරයට පැමිණියේ 2018 වසරෙන් පසු පළමු වරටය.

සෞදි කුමරු තමන්ගේ අමුත්තා බවත්, ඒ සිද්දිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්, ඔහුට අපහාස කිරීම වැරදි බවත්, ට්‍රම්ප් ඒ.බී.සී. මාධ්‍යවේදිනයට දොස් නැගුවේය. සෞදි කුමරුන්ට ප්‍රසංශා කළ ට්‍රම්ප්, මාධ්‍යාවේදී කශෝගී කාගේත් අප්‍රසාදයට පත්ව සිටි ආන්දෝලනාත්මක අයකු බව ද පැවැසීය.


RECOMMEND POSTS