ධවල මන්දිරයට ආ සෞදි කුමරු

සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට පැමිණියේය. ඒ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුව ට්‍රම්ප් හමුවී ඇමෙරිකාව සමඟ ඩොලර් බිලියන ගණනක නව ආයෝජන ඇතිකර ගැනීමටය.
ධවල මන්දිරයට පැමිණි කුමරුන් පිළිගැනීම සිදුවූයේ හමුදා ගෞරව මධ්‍යයේය. කුමරුන් රැගත් ලිමෝසීන් රථය ධවල මන්දිරයට පැමිණියේ, අශ්වාරෝහක බලඇණියක් ද සමඟය. කුමරු, ලිමෝසීන් රියෙන් බැස ධවල මන්දිරය ඉදිරිපිට රතු පලස මත දී, ට්‍රම්ප් හමුවී අතටඅත දෙද්දී, හමුදා තූර්ය වාදක කණ්ඩායම් සංගීතය සැපැයීය.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ සෞදි කුමරුන්ට, ඇමෙරිකාවේ දී මේ අයුරින් මීට පෙර පිළිගැනීමක් හිමි නොවුණු බවය.
ධවල මන්දිරය තුළට යෑමට පෙර, කුමරු සහ ට්‍රම්ප් අතට අත දෙද්දී, ඇමෙරිකන් හමුදාවට අයත් එෆ්. 35 වර්ගයේ ප්‍රහාරක යානා සමූහයක් ඔවුන්ගේ හිසට ඉහළින් පියාසර කළේය. කුමරු ඇමෙරිකාවට පැමිණියේ, ට්‍රම්ප් සමඟ සාකච්ඡා කර මෙම එෆ්. 35 වර්ගයේ ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සඳහා වීම ද විශේෂත්වයකි.
පසුගිය කාලයේ ට්‍රම්ප් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලය අලුත් වැඩියා කර තිබුණේ එහි ඡායාරූප රාමු පවා රන් අලේප කරමිනි. ඕවල් කාර්යාලයේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ රනින් කළ බඩු බාහිරාදියයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ඕවල් කාර්යාලය, අරාබි මාලිගයක් ලෙස පෙනෙන අයුරින්, සෞදි රජ කුමරුට පිළිගැනීමට සුදුසු අයුරින් ට්‍රම්ප් නවීකරණය කර ඇති බවය.
නව අයෝජන සම්බන්ධයෙන්, වෙළෙඤ ගනුදෙනු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ සෞදි කුමරු අතරේ සාකච්ඡා පැවැත්විණි.
සාකච්ඡාවලින් පසු සෞදි කුමරු එකඟ වූයේ ඇමෙරිකාව සමඟ ඇමෙරිකන් ඩොලර් බිලියන 600 ක ආයෝජන ඇති කර ගැනීමටය.
ට්‍රම්ප් සහ කුමරුන් අතරේ ඕවල් කාර්යාලයේ පැවැති සාකච්ඡාවට ඇමෙරිකන් මාධ්‍යවේදීන් ද සහභාගී වී සිටි අතර, කුමරුන්ගේ ආයෝජන සම්බන්ධයෙන් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ, කුමරු තමන්ගේ ඉතා සමීප මිතුරකු බැවින්, එකඟත්වයක් ඇති කරගත් එම ඩොලර් බිලියන 600 ක ආයෝජන, ට්‍රිලියනයක් තෙක් වැඩි කර ගැනීමට තමන් කෙසේ හෝ සෞදි කුමරු කැමැති කර ගන්නා බවය.

