’පන්ජ්ෂීර්’ නිම්නය තලේබාන් ග්‍රහණයේ



'පන්ජ්ෂීර්' නිම්නය අයත් 'පන්ජ්ෂීර්' පළාත මුළුමනින්ම තම ග්‍රහණයට පත්වුණු බව තලේබාන් සංවිධානය පවසයි. ඒ අනුව, මේ වනවිට මුළු ඇෆ්ගනිස්තානයම ඇත්තේ තලේබාන් පාලනය යටතේය.

'පන්ජ්ෂීර්' නිම්නය ඇතුළු මුළු ඇෆ්ගනිස්තානයම තම පාලනයට නතු වූ බව තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් ප්‍රකාශ කළේ තලේබාන් සටන්කාමීන් 'පන්ජ්ෂීර්' පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය සහ නිවස ඉදිරිපිට තලේබාන් ධජ ලෙලදීමට සැලැස්වීමෙන් අනතුරුවය.

තලේබාන්වරුන් සහ 'පන්ජ්ෂීර්' නිම්නයේ තලේබාන් විරෝධී සටන්කාමීන් අතර සාකච්ඡා පැවැත්වුණු අතර, එම සාකච්ඡා අවසන් වූයේ සටන් ද අවසන් කරමිනි. තලේබාන්වරුන් 'පන්ජ්ෂීර්' පළාත මුළුමනින්ම ඔවුන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට හැකිවූයේ ඒ අනුව යැයි පැවැසෙයි. තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පැවැත් වූයේ 'පන්ජ්ෂීර්' නිම්නයේ තලේබාන් විරෝධී සටන්කාමීන්ගේ නායකයා වන අහ්මද් මසූද් ය.

පසුගිය සති අන්තයේ තලේබාන්වරුන් සහ අහ්මද් මසූද්ගේ තලේබාන් විරෝධී සටන්කාමීන් අතර දරුණු අවි ගැටුම් සිදුවිය. එම ගැටුම්වලින් මියගිය ගණන 600 කට වැඩිය. මියගිය පිරිස අතර, මසූද්ගේ බෑණා කෙනකු ද සිටින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබුණි. අහ්මද් මසූද් නායකත්වය දෙන සටන්කාමීන් හැඳින්වෙන්නේ 'තලේබාන් විරෝධී ජාතික පෙරමුණ' යන නමිනි.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා පිටවී යෑමත් සමඟ තලේබාන්වරුන් කාබුල් අගනුවර අල්ලා ගනිද්දී, ඇෆ්ගන් රජයේ උප ජනාධිපතිවරයා අම්රුල්ලා සලේ ද 'පන්ජ්ෂීර්' නිම්නයට ගොස් තලේබාන් විරෝධී සටන්කාමීන්ට එක් වී සිටී. 'පන්ජ්ෂීර්' කඳුකර නිම්නයේ තලේබාන් පාලනයට එරෙහි ලක්ෂ දෙකකට වැඩි පිරිසක් ජීවත් වන බව පැවැසෙයි. තලේබාන්වරුන් 'පන්ජ්ෂීර්' නිම්නයේ පාලනය සියතට ගැනීමත් සමඟ එම වැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇතැයි ඇමෙරිකන් බුද්ධි අංශ පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS