සාමකතා සාර්ථක කරගන්න කලාපීය රටවල සහාය ඕනෑ

මැදපෙරදිග කලාපයේ සාමය තහවුරු කිරීම සඳහා කලාපීය රටවල සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන් අවධාරණය කරයි.
තුර්කි ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ ඉස්තාන්බුල් නුවරදී පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුවුණු අවස්ථාවේදීය. කලාපීය රටවල කැමැත්ත සහ දායකත්වය නොමැතිව ගන්නා කිසිදු විසඳුමක් ස්ථාවර නොවන බව තුර්කි ජනාධිපතිවරයා පැහැදිලි කළේය. තුර්කිය යනු නේටෝ සාමාජිකයෙකි.
ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම කඩාකප්පල් කිරීමට ඊශ්‍රායලය උත්සාහ කරන බවට ජනාධිපති එර්දොවාන් එම අවස්ථාවේදී චෝදනා කළේය.
ඊශ්‍රායල රජය යුද්ධයට ලැදි ස්ථාවරයක සිටින බව පෙන්වා දුන් තුර්කි ජනාධිපතිවරයා, මුළු මැදපෙරදිග කලාපයම නැවත වරක් ලේ වැගිරීම් සහ යුද වාතාවරණයකට ඇද දැමීමට ඊශ්‍රායලයට ඉඩ නොදිය යුතු බව ද අවධාරණය කළේය. ගාසා තීරය, ලෙබනනය සහ සිරියාව වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දැකීමට ද ජනාධිපති එර්දොවාන් අමතක කළේ නැත.

