සිරියානු ජනාධිපති අල් ෂාරා සෞදියේ



සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සහ සිරියානු ජනාධිපති අහමඩ් අල් ෂාරා අතර නිල හමුවක් පැවැත්විණි. ඒ, ජනාධිපති අහමඩ් අල් ෂාරා රියාද් අගනුවරට පැමිණි අවස්ථාවේදීය.

සෞදි රාජ්‍යයේ නිල පුවත් සේවා වාර්තා කළේ, කලාපීය සහ ගෝලීය ආරක්ෂාව, බලශක්ති සැපයුම මෙන්ම මැදපෙරදික ගැටුම් සාමකාමී ක්‍රම මඟින් සමනය කිරීම සම්බන්ධයෙන් සෞදි කුමරු, සිරියානු ජනාධිපති අල් ෂාරා සමග සාකච්ඡා පැවැත්වූ බවයි.

ඇමෙරිකා ඉරාන අර්බුදය හේතුවෙන් වසා දැමුණු හෝමූස් සමුද්‍ර සන්ධිය ගැනත්, යේමනයේ හූති සටන්කාමීන් විසින් අවහිර කරනු ලැබූ රතු මුහුදේ බාබ් අල් මන්දබ් සමුද්‍ර සන්ධිය ගැනත් සාකච්ඡා පැවැත්විණි.

ජනාධිපති අල් ෂාරාගේ මෙම සංචාරය අතරතුර සෞදි අරාබිය සහ සිරියාව අතර ආරක්ෂක අමාත්‍යාංශ මට්ටමින් සහයෝගීතා ගිවිසුමකටද අත්සන් තැබුණු බව ද පැවැසෙයි. 

එම ගිවිසුමේ නිශ්චිත විස්තර මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, යේමනයේ හූති සටන්කාමීන්ට එරෙහි සෞදිය සිදු කරන හමුදා මෙහෙයුම් සඳහා සිරියාව විසින් හමුදාමය සහය ලබා දීම පිළිබඳව පසුගිය මාසයේදී වාර්තා පළ විය.

 


RECOMMEND POSTS