ජෝර්දානයෙන් සිරියාවට ප්‍රහාර



ජෝර්දාන ගුවන් හමුදාව සිරියාවට පහර දුන්නේය. එම ප්‍රහාරයෙන් හත් දෙනකු මියගිය බවත්, කුඩා දරුවන් තිදෙනකු සහ කාන්තාවක මියගිය පිරිස අතරේ සිටින බවත් සිරියානු රජය පවසයි.

ජෝර්දානය සහ සිරියාව අසල්වැසි රටවල් වන අතර, ප්‍රහාරය එල්ල කිරීමට පැය කීපයකට පෙර, ජෝර්දාන රජය, සිරියාව සමග ඇති දේශසීමා පිවිසුම ද වසා දැමීය.

පසුගිය සති අන්තයේ, ජෝර්දානයේ ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයක, අවමංගල්‍යයක් පැවැත්වෙද්දී, ඊට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බව, ජෝර්දාන ආරක්ෂක අංශ, විමර්ශනවලින් පසු පැවැසීය. ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ජෝර්දාන ආරක්ෂක අංශ සමත් විය.

ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයට එල්ල වුණු එම වෙඩි ප්‍රහාරයෙන්, මියගිය ගණන 7 කි. තුවාල ලැබූ ගණන 40 ක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගිය සහ තුවාල ලැබූවන් අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව ජෝර්දානයේ අබ්දුල්ලා රජ පැවැසුවේ මහත් සංවේගයෙනි.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජෝර්දානයේ අම්මාන් නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය පැවැසුවේ අම්මාන් නුවර පමණක් නොව, සෙසු ප්‍රධාන නගරවලද ආරක්ෂාව වැඩි කළ බවය.

ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයේ අවමංගල්‍යයට වෙඩි තැබුවේ ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් බවය පැවැසෙයි. ඔවුන්ගේ නායකයන්, සිරියාවේ සැගවී සිටින බව ජෝර්දාන බුද්ධි අංශ තහවුරු කරගත් අතර, ඊයේ (26) ජෝර්දාන ගුවන් හමුදාව, සිරියාවට පහර දුන්නේ, එම අන්තවාදී නායකයන් ඉලක්ක කර ගනිමිනි.

බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු, සිරියාවේ බලයට පත්ව සිටින්නේ අසාද් පාලනය පෙරළා දැමූ විපක්ෂයයි. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කරන අල් ෂාරා සිරියානු සිවිල් යුද සමයේ අසාද්ගේ රජයේ හමුදා සමග සටන් වැදුණු අල් කයිඩා නායකයෙකි.

අල් ෂාරා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ යහපත් සබඳතා පවතී. ට්‍රම්ප් මැදිහත් වී, සිරියාවට පනවා තිබූ සම්බාධක පවා ලිහිල් කර ඇත. අල් ෂාරා, බටහිර රටව පිළිගැනීමකට ලක් වී සිටී.


RECOMMEND POSTS