අනිරුද්ට මංගල සීනු
ඉන්දියාවේ ජනප්‍රිය සංගීත අධ්යක්ෂ අනිරුද් රවිචන්දර් සහ IPL 'සන්රයිසස් හයිද්‍රාබාද්' කණ්ඩායමේ සම හිමිකාරිනිය මෙන්ම එම කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ද කටයුතු කරන කාව්‍යා මාරන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේත්, ඉන්දීය මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
අනිරුද් සහ කාව්‍යාගේ මංගල උත්සවය පැවැත්වූයේ නොවැම්බර් 11 (2026.11.11) වැනිදා ග්රීසියේදීය. අති උත්කර්ෂවත් අන්දමින් එය පැවැත්විණි. එහි ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරමින් අනිරුද් සටහනක් පළ කර ඇත.
ඒ, 'මට මාගේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන, මුළු ජීවිත කාලයටම වන බැඳීම 11.11' යනුවෙනි.
අනිරුද් ඇත්දළ පැහැති සාම්ප්‍රදායික කුර්තාවක්, වේට්ටියක් සහ සියුම් එම්බ්‍රොයිඩර් වැඩ දැමූ දිගු කබායකින් සැරසී සිටි අතර, කාව්‍යා ළා රෝස පැහැති අලංකාර ලෙහෙන්ගාවකින් සහ වටිනා ආභරණවලින් සැරසී සිටියාය.
මංගල උත්සවයට ඉන්දීය සිනමාවේ සහ දේශපාලන ක්ෂේත්රයේ ප්‍රබල චරිත රැසක් සහභාගී වූහ. සුපිරි නළු රජිනිකාන්ත්, තමිල්නාඩු හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඒ අතරේ සිටිනු දකින්න ලැබුණි.
නව යුවළගේ විවාහ මංගල ප්රියසම්භාෂණය එළඹෙන ලබන නොවැම්බර් 21 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවරදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බව කාව්‍යාගේ මාපියන් වන කලානිධි මාරන් සහ කාවේරි මාරන් පවසා ඇත.
චෙන්නායි නුවර පැවැත්වෙන ප්රියසම්භාෂණය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කොංග්රස් නායකයන් වන සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි මෙන්ම වත්මන් තමිල්නාඩු මහ ඇමති 'තලපති' විජේ, තෙලංගානා මහ ඇමති ඒ. රේවන්ත් රෙඩ්ඩි, ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති චන්ද්‍රබාබු නායිදු සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් සහභාගී වනු ඇත.
මීට අමතරව, ඒ.ආර්. රහ්මාන්, කමල් හසන්, ධනුෂ්, අජිත් කුමාර්, අල්ලු අර්ජුන්, සිවකාර්තිකේයන් ඇතුළු සිනමා තරු රැසකට මෙන්ම අභිෂේක් ෂර්මා සහ ඉෂාන් කිෂාන් වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් ද එම අවස්ථාවට එක් වනු ඇතැයි පැවැසෙයි.
'වයි දිස් කොලවෙරි ඩී' ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ අනිරුද් රවිචන්දර්, මේ වන විට ෂාරුක් ඛාන්, රජිනිකාන්ත්, විජේ වැනි සුපිරි නළුවන්ගේ දැවැන්ත චිත්‍රපට රැසක සංගීත අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී. අනිරුද්ගේ සංගීතයෙන් හැඩවුණු 'ජේලර් 2' චිත්‍රපටය තවමත් ඉන්දියාවේ පමණක් නොව, ලොව පුරා වාර්තා පිහිටුවමින් තිරගත වෙයි.
බ්‍රිතාන්‍යයේ වෝර්වික් ව්‍යාපාරික පාසලෙන් උපාධිය ලැබූ කාව්‍යා මාරන්, සන් ටීවී ජාලයේ අධ්යක්ෂවරියක ද වෙයි. 2025 වසරේ සිටම දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳව විවිධ කටකතා පැතිර ගියත්, මුලදී අනිරුද් ඒවා ප්‍රතික්ෂේප තළේය. කෙසේ නමුත් පසුගිය ජුනි මාසයේදී ඔහුගේ මාමා කෙනකු වන ප්‍රවීණ නළු වයි.ජී. මහේන්ද්‍රන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ අනිරුද්ගේ විවාහය ස්ථිර වශයෙන්ම සිදුවන බවය.
ලුසිත ජයමාන්න
NDTV ඇසුරිනි






