’ඔමික්‍රෝන්’ විදුලි වේගයෙන් පැතිරෙනවා



'ඔමික්‍රෝන්' විකෘතිය, ප්‍රංශය ආක්‍රමණය කර ඇති බවත්, එය විදුලි වේගයෙන් ප්‍රංශය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් අනතුරු අඟවමින් පවසා තිබේ.

ප්‍රංශ අගමැතිවරයා මෙසේ අනතුරු ඇඟවූයේ එරට සෞඛ්‍ය අංශ ලබා දුන් වාර්තා උපුටා දක්වමිනි. ලබන 2022 වසර උදා වෙද්දී, 'ඩෙල්ටා' අභිබවා යමින්, ප්‍රංශයේ පමණක් නොව සෙසු යුරෝපා රටවල ද ප්‍රමුඛතම 'කොවිඩ් 19' වයිරස විකෘතිය වනු ඇත්තේ 'ඔමික්‍රෝන්' යැයි ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

මේ වනවිට ප්‍රංශය ද ඇතුළු යුරෝපා රටවලින් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 89 පසු කර ඇති අතර සමස්ත 'කොවිඩ් 19' මරණ වාර්තා වන්නේ මිලියන 1.5 ක් ලෙසය.

'ඔමික්‍රොන්' කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් නත්තලට පෙර සංචරණ ඇතුළු සෞඛ්‍ය සීමා දැඩි කිරීම පිළිබඳව යුරෝපීය රටවල් අවධානය යොමු වි ඇත්තේ මේ නිසාය‍.

ජර්මනිය, අයර්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය එරට සීමා දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, ප්‍රංශය, බ්‍රිතාන්‍යය වැසියන් සඳහා සිය දේශසීමා වසා දමා තිබේ. මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය දරුණුය. ලන්ඩන් නුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ. පසුගිය 17 වැනිදා බ්‍රිතාන්‍යයෙන් නව ආසාදිතයන් 93,045 ක් හඳුනා ගැණුනි. මරණ වාර්තා වූයේ 111 ක් ලෙසය. 'ඔමික්‍රොන්' විකෘති වයිරස ප්‍රභේදයට මුහුණදීමට, බ්‍රිතාන්‍යය ගෙන ඇති මූලික පියවර, බූස්ටර් එන්නත් ලබාදීම වේගවත් කිරීමය.

(රොයිටර්)


RECOMMEND POSTS