’ඔමික්‍රෝන්’ බිහිසුණු නෑ කියන්න අමාරුයි



'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය, 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු විකෘතියක් නොවේ යැයි තමන්ට කීමට නොහැකි බව බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යාලීය වෛද්‍ය පර්යේෂකයෝ කියති.

රාජකීය විද්‍යාලීය වෛද්‍ය පර්යේෂකයන් මෙසේ පැවැසුවේ, මහා බ්‍රිතාන්‍යය, මේ වනවිට දරුණු 'කොවිඩ් 19' රැල්ලකින් බැට කමින් සිටීමත්, 'ඔමික්‍රෝන්' විකෘතිය දරුණු ලෙස බ්‍රිතාන්‍ය සමාජයේ ව්‍යාප්ත වීමත් නිසාය.

කොවිඩ් 19 'ඔමික්‍රෝන්' විකෘතිය, කොවිඩ් 19 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. ඒ, 'ඔමික්‍රෝන්' පළමුවෙන් හඳුනා ගැනීම කළ දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් ලබා දුන් නිර්දේශ අනුවය. 'ඔමික්‍රෝන්' විකෘතිය පිටපිට එක් අයකුට කිහිප වරක් ආසාදනය වන බවත්, එසේ ආසාදනය වෙද්දී එය සංකූලතා ඇති කරන බවත් රාජකීය විද්‍යාලීය වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

පර්යේෂකයන් පසුගිය නොවැම්බර් 29 වැනිදා සිට පසුගිය දෙසැම්බර් 11 වැනිදා තෙක් හමුවුණු 'ඔමික්‍රෝන්' ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යනයක් අනුව මේ බව පෙන්වා දී තිබේ. ලන්ඩන් රාජකීය විද්‍යාලයේ පර්යේෂකයන් ඔවුන්ගේ අධ්‍යයන වාර්තා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන්ට ලබා දී ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි. එම වාර්තාවේ සඳහන් අන්දමට 'ඔමික්‍රෝන්' ආසාදිතයන් ද 'ඩෙල්ටා' ආසාදිතයන් මෙන් රෝහල් ගත කර ඇත. ලොව පළමු 'ඔමික්‍රෝන්' මරණය වාර්තා වී ඇත්තේ ද මහා බ්‍රිතාන්‍යයෙනි.

කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් ඔමික්‍රෝන් විකෘතිය නිසා ඇතිවන රෝගාබාධවලට සියයට 85 ක ආරක්ෂාවක් ලැබෙන බවට ද සායනික වාර්තාවලින් පැහැදිලි වී ඇත. ඔමික්‍රොන් විකෘතියෙන් ගැලවීමට නම්, පළමු සහ දෙවන එන්නත් මාත්‍රා පමණක් ප්‍රමාණවත් නොවන බව රාජකීය විද්‍යාලීය වෛද්‍ය පර්යේෂකයන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS