’ඇක්වා ඩෝම්’ පුපුරා විනාශ වෙයි



ලොව විශාලතම සිලින්ඩාකාර මාළු ටැංකිය ලෙස වාර්තා අතරට එක් වී තිබුණු ජර්මනියේ බර්ලීන් අගනුවර ඇක්වා ඩොම් මාළු ටැංකිය හිටිහැටියේ පුපුරා විනාශ වී ඇත.

ඇක්වා ඩොම් මාළු ටැංකිය ඉදිකර තිබුණේ රැඩිසන් බ්ලු හෝටලයේය. මෙය බර්ලීන් නුවර සංචාරක ආකර්ශණයක් ද විය.

ඇක්වා ඩොම් මාළු ටැංකිය මත්ස්‍ය විශේෂ 100 කට අධික ප්‍රමාණයක මසුන් 1,500 කට නිවහන වී තිබුණි. එය උසින් මීටර් 15.85 ක් බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

වතුර ලීටර මිලියනයක් පුරවා තිබූ මෙම ජල ටැංකිය පුපුරා යෑමෙන් එහි වීදුරු කැබලි ඇඟේ වැදී  පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

වතුර ගලා යෑමෙන් හෝටලයට ද සැලකිය යුතු හානියක් සිදුව ඇතැයි බර්ලින් ගිනි නිවන භටයන් පවසා තිබේ. හෝටලයේ මහල් කීපයක් ජලයෙන් යට වී ගිය බව ද පැවැසෙයි.

මාළු ටැංකිය පුපුරා යෑමෙන් එහි සිටි මාළුන් විශාල ප්‍රමාණයක් මියගිය ද වතුර එක් රැස් වී තිබූ ස්ථානවල රැඳුණු මාළුන් කිහිපදෙනකු බේරා ගැනීමට හැකි වූ බව බර්ලින් ගිනි නිවන භටයන් ප්‍රකාශ කර ඇත.

කුඩා මින්මැදුරක් ලෙස ද සැලකිය හැකි ඇක්වා ඩොම්, 2003 වසරේ විවෘත වී ඇති අතර එය නිර්මාණය කිරීමට යුරෝ මිලියන 12.8 ක මුදලක් වැය වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS