‘මන්කි පොක්ස්’ හඳුන්වන අලුත් නාමය ‘එම්.පොක්ස්’



මින් ඉදිරියට ‘මන්කි පොක්ස්’ වයිරසය, ‘එම්.පොක්ස්’ යන නමින් හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (29) නිල වශයෙන් නිවේදනය කළේය.

‘මන්කි පොක්ස්’ වයිරසය, ‘එම්.පොක්ස්’ යන නමින් හැඳින්වීමට තමන් බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට සති කීපයකට පෙර පවසා තිබුණි. එය නිල වශයෙන් දැනුම් දීම සිදුවූයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේදීය.

‘මන්කි පොක්ස්’ (වඳුරු උණ/ වඳුරු පැපොල) යන නම වෙනුවට වෙනත් නමක් භාවිත කළ යුතු යැයි රටවල් රැසකින් ඉල්ලීම් ලැබී තිබුණු බවත් එය සැලකිල්ලට ගනිමින් ‘මන්කි පොක්ස්’ වෙනුවට ‘එම්.පොක්ස්’ යන නම භාවිත කෙරෙන බවත් මාධ්‍ය හමුවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කළේය.

මේ වනවිට ලොව රටවල් රැසකින් ‘මන්කි පොක්ස්’ ආසාදිතයන් වාර්තා වී ඇත. ‘මන්කි පොක්ස්’ වයිරසය පැපොල සහ වසූරිය වයිරස අතරට වැටෙන වයිරසයකි. සමලිංගික පිරිමින් අතරේ ‘මන්කි පොක්ස්’ ව්‍යාප්තිය බහුලව සිදුවන බව වෛද්‍ය පර්යේෂකයන්ගේ මතයයි.

(රොයිටර්)


RECOMMEND POSTS