‘නාසා’ පිටසක්වළ සිරුරු ඉල්ලයි



මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ දී ලොවට අනාවරණය කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන කුඩා සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා තමන්ට ලබා දෙන්නැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

‘නාසා’ ආයතනය, මෙක්සිකෝ බලධාරීන් සතුව ඇති එම අසාමාන්‍ය සිරුරු ඉල්ලා සිටියේ එම සිරුරු විශේෂ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට මෙක්සිකෝ වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කර ඇති බැවිනි.

එම වෛද්‍ය කණ්ඩායමට නායකත්වය දුන්නේ හෝසේ දෙ යේසුස් නමැති මෙකිස්කෝ නාවික හමුදාවේ අධිකරණ වෛද්‍යවරයාය. පිටසක්වළයන්ගේ යැයි සැක කෙරෙන සිරුරු මීට සතියකට පමණ පෙර මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජේමී මුසාන් නමැති මාධ්‍යවේදියාය. මුසාන්, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ ගවේෂණ කරන මාධ්‍යවේදියෙකි. මුසාන් එම පිටසක්වළයන්ගේ යැයි සැක කෙරෙන සිරුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද හෝසේ දෙ යේසුස් වෛද්‍යවරයා සහභාගී වී සිටියේය.

අසාමාන්‍ය සිරුරු සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට, ෆ්ලොස්කොපී සජීවී ස්කෑන් පරීක්ෂණයකට සහ සාමාන්‍ය එක්ස් රේ පරීක්ෂණයකයට යොමු කිරීමට වෛද්‍ය හෝසේ දෙ යේසුස් සහ ඔහුගේ කණ්ඩායම කටයුතු කර තිබේ.

එහිදී තහවුරු වී ඇත්තේ සිරුරු අස්ථි එකතු කරමින් සකස් කළ බොරු සිරුරු නොවන බවය. අසාමාන්‍ය සිරුරුවල ඇටසැකිළි කිසියම් හඳුනා ගැනීමට නොහැකි අසාමාන්‍ය ජීවියකුගේ ඇටසැකිළි බවත්, එක් සිරුරක උදරයේ බිත්තර වැනි යමක් ඇති බව තහවුරු වී ඇති බවත් වෛද්‍ය හෝසේ දෙ යේසුස් පෙන්වා දී තිබේ.

පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් ඇමෙරිකා නාසා ආයතනය පවසා ඇත්තේ, පිටසක්වළ ජීවීන් සැබෑවක් කීමට හෝ බොරුවක් කීමට හෝ සාක්ෂි තමන්ට ලැබී නැති බවය. නාසා ආයතනය ජේමී මුසාන් ගැන පැහැදීමකින් කතා කරන්නේ ද නැත. හේතුව මීට පෙර ද ඔහු පිටසක්වළ ජීවීන්ගේ යැයි ඉදිරිපත් කළ සාක්ෂි ව්‍යාජ ඒවා බව තහවුරු වුණු බැවිනි.


RECOMMEND POSTS