ෆින්ලන්තයේ වෙඩි තැබීමක්



ෆින්ලන්තයේ පාසලක ඊයේ (2) සිදුවුණු වෙඩි තැබීමකින් අවුරුදු 12 ක් වයසැති කුඩා දරුවෝ තිදෙනෙක් තුවාල ලැබූහ. 
වෙඩි තැබීම සිදුවූයේ ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලකය. වෙඩි තැබීම කළේ ද 12 හැවිරිදි දරුවකු බව පැවැසෙයි.

වෙඩි තැබීමෙන් පසු එම දරුවා පාසලෙන් පලා ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් ඔහු අල්ලා ගත්තේ පාසලට නුදුරින් ගංගාවක් අසලිනි.

තුවාල ලැබූ දරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව පැවැසෙයි. වෙඩි තැබීමත් සමඟ පාසලේ මහා කලබලයක් හටගත් බවත් සිද්ධිය සැලවීමෙන් කම්පනයට පත් දරුවන්ගේ මාපියන් පාසලට එක්රොක් වූ බවත් ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි තැබීම සිදුවූයේ වියෙර්ටෝලා පාසලේය. වෙඩි තැබීම සිදුවෙද්දී පාසලේ සිසුන් 800 දෙනකු සහ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 90 දෙනකු සිටි බව ද පැවැසෙයි.

ලොව හොඳම අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත රටවලින් ඉදිරියෙන්ම පසුවන්නේ යුරෝපා රාජ්‍යයක් වන ෆින්ලන්තයයි. 2007 සහ 2008 යන වසරවලදී ෆින්ලන්ත පාසල්වල වෙඩි තැබීම් සිදුවිය. ෆින්ලන්තය ගිනි අවි සම්බන්ධයෙන් දැඩි නීතිරීති හඳුන්වා දුන්නේ එම වෙඩි තැබීම්වලින් පසුවය. ඊයේ (2) සිදුවුණු වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS