ෆයිසර් එන්නතට සිංගප්පූරුවේ අනුමැතිය
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව නිෂ්පාදනය කළ නව කොරෝනා වයිරස එන්නතට සිංගප්පූරුවේ සෞඛ්‍ය වෛද්‍ය පාලනාධිකාරියේ අවසරය හිමි ව තිබේ.
ඒ අනුව පළමු එන්නත් මාත්‍රා තොගය මේ මාසය අවසන් වීමට පෙර සිංගප්පූරුවට ළඟා වීමට නියමිත යැයි ද වාර්තා වේ.
මේ අනුව ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස එන්නත ලබාගත් මුල් රටවල් කිහිපය අතරට සිංගප්පූරුව ද එක්වන බව මේ සම්බන්ධයෙන් සහ රටේ නව කොරෝනා වයිරස තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට අග්‍රාමාත්‍ය ලී සියැන්ග් ලූන්ග් ඊයේ (14) පැවැසීය.
සෞඛ්‍ය වෛද්‍ය පාලනාධිකාරිය ෆයිසර්/බයෝඇන්ටෙක් එන්නතේ විද්‍යාත්මක සාක්ෂි සහ සායනික අත්හදා බැලීම්වල දත්ත අධ්‍යයනය කර ඇතැයි ද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කීවේය.
අනෙකුත් ‘කොවිඩ්-19’ එන්නත් ද සිංගප්පූරුවට ළඟා වීමට නියමිත අතර සියල්ල සැලසුම් කළ පරිදි සිදුවන්නේ නම් ලබන වසරේ තෙවැනි කාර්තුව වනවිට සිංගප්පූරුවේ සියලු දෙනාට ප්‍රමාණවත් තරම් එන්නත් රටට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇතැයි ද හෙතෙම පැවැසීය.
සිංගප්පූරු ජනතාවට එන්නත් ලබාදීම සඳහා උපායමාර්ගයක් නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ගෙන් සහ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
සමස්ත වැඩිහිටි ජනගහනයටම එන්නත ලබා දිය යුතු යැයි එම කමිටුව නිර්දේශ කර ඇතැයි සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කීවේය. කෙසේ නමුත් එන්නත් ලබාදෙන්නේ ඔවුන්ගේ කැමැත්ත අනුව යැයි ද කීය.
එන්නත් ලබාදීමේදී මුල්පෙළ සිටින සේවකයන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්, වැඩිහිටි ජනතාව සහ අවදානම් තත්ත්වයේ සිටින පිරිසට මුල්තැන දෙන බව ද ඔහු පැවැසීය.
ඉන් අනතුරුව රටේ ඉතිරි පිරිසටත් එන්නත් අවශ්‍ය පිරිසටත් මෙම එන්නත ලබාදෙන බවත් ලබන වසර අවසන් වනවිට සියලු දෙනාටම එන්නත් ලබාදීමට පියවර ගන්නා බවත් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කීවේය.
ආණ්ඩුව විශේෂඥ කමිටුවේ නිර්දේශ පිළිගෙන ඇති බවත් තමන් පෞද්ගලිකවම එම කමිටුව විශ්වාස කරන බවත් ඔහු කීය.
“වැඩිහිටියන් ඇතුළු මගේ කැබිනට් සගයන්, මම මුලින්ම එන්නත ලබාගන්නවා. විශේෂයෙන්ම මා වගේ ජ්‍යෙෂ්ඨයන්ට සහ රටේ ජනතාවට මේ එන්නත සුරක්ෂිත බව පෙන්වීම තමයි අපේ අරමුණ” යැයි ද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කීවේය.
සිංගප්පූරුවේ සියලුදෙනාට මෙම එන්නත ලබාදෙන්නේ නොමිලේ බවත් දීර්ඝකාලයක සිට සිංගප්පූරුවේ ජීවත් වන අයට ද කිසිදු මුදල් අය කිරීමකින් තොරව එන්නත ලබාදෙන බවත් ඔහු කීය.
“මේ එන්නත දෙන විට එය ලබාගන්නැයි මා හැමෝම දිරිගන්වනවා. මොකද ඔබ එන්නත ලබාගත්තාම, ඔබ විතරක් නෙමෙයි අනෙක් අයත් ආරක්ෂා වෙනවා. ඔබ ඔබේ කාර්ය විතරක් නෙමෙයි අනෙක් අයවත් ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම ඔබගේ ආදරණීයන්” යැයි සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කීවේය.
“අපි වැඩි වැඩියෙන් එන්නත ලබාගත්තාම, වයිරසයට පැතිරෙන්න තිබෙන ඉඩ අඩුයි. එතකොට අපි සමාජයක් විදියටත් ආරක්ෂිත” යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
ඒ.එෆ්.පී.