ෆයිසර් එන්නත විකෘති අඩපණ කරනවා



ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයටත් බ්‍රිතාන්‍යයෙන් මුල් වරට  හඳුනාගත් ප්‍රභේදයටත් එරෙහිව ‘කොවිඩ්-19’ එන්නත් ලබාදීමේ දී මාත්‍රා දෙකක් දීම ප්‍රතිඵල අත් කරදෙන බව එංගලන්ත සෞඛ්‍ය බලධාරීහු සෙනසුරාදා ප්‍රකාශ කළහ.

මෙම සොයාගැනීම සුවිශේෂී යැයි ද ලබන මාසයේදී ‘කොවිඩ්-19’ සීමා තවදුරටත් ලිහිල් කිරීමේ බලාපොරොත්තුව මෙමඟින් ඉහළ නැංවෙන බව ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පැවැසීය.

එංගලන්ත මහජන සෞඛ්‍ය අංශය කරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී තිබේ.

ෆයිසර්-බයෝඇන්ටෙක් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් සති දෙකකට පසු නව කොරෝනා වයිරසයේ ‘බී.1.617.2’ ප්‍රභේදයට එරෙහිව සියයට 88කට ආසන්න ප්‍රතිඵල අත්පත් කරදෙන බව මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් බී.1.1.7 “කෙන්ට්” ප්‍රභේදයට එරෙහිව එම එන්නත සියයට 93ක ප්‍රතිඵල ලබාදෙන බව ද මෙම අධ්‍යයනයේදී සොයාගෙන තිබේ.

ඇස්ට්‍රාසෙනකා එන්නත ද මෙහිදි අධ්‍යයනයට යොදාගෙන තිබේ. ඉන්දීය ප්‍රභේදයට එරෙහිව මෙම එන්නත සියයට 60ක ප්‍රතිඵල අත්පත් කරදෙන අතර බ්‍රිතාන්‍ය ප්‍රභේදයට එරෙහිව සියයට 66ක ප්‍රතිඵත අත්පත් කරදෙන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.

“අපේ විශ්වාසය වැඩිවෙමින් තිබෙනවා. අප දැන් මාර්ග සැලැස්මක් සකසමින් ඉන්නේ. මේ දත්තවලට අනුව එන්නත් මාත්‍රා දෙකකින් පස්සේ එන්නත්වල ප්‍රතිඵලදායකත්වය වැඩි යි. ඉන්දිය ප්‍රභේදයට එරෙහිවත් ප්‍රතිඵල පෙන්වා තිබෙනවා” යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැට් හැන්කොක් පැවැසීය.

බ්‍රිතාන්‍යය රජයේ සැලසුම්වලට අනුව ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලින් ඉතිරි සීමා ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ජූනි මස 11 වැනිදා ය.

මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ යුරෝපයේ සහ බටහිර පළමු රට වන්නේ බ්‍රිතාන්‍ය යි. ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට රට තුළ ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ බ්‍රිතාන්‍යට නව අභියෝගවලට මුහුණ දීමට සිදුවිය.

මැයි 22 දක්වා දවස් හතක කාලයේ දී බ්‍රිතාන්‍යයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සියයට 10.5කින් වැඩි වී ඇතැයි සෙනසුරාදා නිකුත් වූ දත්තවලින් කියැවිණි.

ඉතිරි දෙවැනි මාත්‍රා සියල්ල අවුරුදු 50ට වැඩි අයටත් අවදානම් තත්ත්වයේ පසුවන අයටත් ලබාදෙන්නැයි ද එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කරන්නැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉකුත් දා පැවැසීය.

බී.1.617.2 ප්‍රභේදයට එරෙහිව සති තුනකට පසු එන්නත් වර්ග දෙකම සියයට 33ක ප්‍රතිඵලදායකත්වයක් පෙන්නුම් කරන බවත් එය බී.1.1.7.ට එරෙහිව පෙන්නුම් කරන සියයට 50ක ප්‍රතිඵලදායකත්වයට අඩු අගයක් බවත් එංගලන්ත මහජන සෞඛ්‍ය සේවය සඳහන් කරයි.

එන්නතේ මාත්‍රා දෙකම ලබාගැනීම ඉතාම අත්‍යවශ්‍ය සහ වැදගත් යැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා කීය.

රොයිටර්


RECOMMEND POSTS