හානිය තවමත් හරි හැටි දන්නේ නෑ



ගිනි කඳු පිපිරීමෙන් පසු ගිනි කන්ද අසල ටොංගා දූපත් රාජ්‍යයේ සන්නිවේදන කටයුතු තවමත් අඩපණ වී ඇති බවත්, ගිනි කඳු පිපිරීමෙන් සහ හටගත් සුනාමියෙන් දූපත් රාජ්‍යයට එල්ල වුණු බලපෑම තවමත් හරි හැටි ගණනය කර නැත.

පුපුරා ගියේ මුහුදු පතුළේ පිහිටි ගිනි කන්දකි. එයින් දරුණු ලෙස බලපෑම් එල්ල වූයේ පැසිෆික් සාගර කලාපයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යයටය. ගිනි කන්ද පිපිරී සාගරය කැලඹෙද්දී සුනාමි රළ පවා හටගත්තේය. සුනාමි රළ ද පැසිෆික් සාගර රටවලට කඩා වැදුණි.

ටොංගා යනු දූපත් සමූහයකින් නිර්මාණය වූ රාජ්‍යයකි. ගිනි කඳු පිපිරීමෙන් සහ සුනාමියෙන් ටොංගා දූපතේ සියලු සන්නිවේදන සබඳතා අඩපණ වී ගොසිනි. එසේ වූයේ භූමි කම්පාවේ බලපෑමෙන් ටොංගා දූපත් රාජ්‍යය සමග මුහුද යටින් සම්බන්ධ වන කේබල විසන්ධිවී ඇති බැවිනි.

ඒ අනුව මියගිය පුද්ගලයන් ගැන හෝ තුවාල ලැබූවන් ගැන නිවැරදි පුවත් තවමත් වාර්තා වී නැත. සුනාමි රළ පහරට හසුවුණු බල්ලකු බේරා ගැනීමට යෑමේදී ටොංගා පදිංචි බි්‍රතාන්‍ය ජාතික කාන්තාවක මියගියා බව වාර්තා වේ. සුනාමිය හේතුවෙන් පීඩාවට පත් වුණු ගණන 80,000 ක් බව ද පැවැසෙයි.

මේ අතර, ගිනි කඳු අළුවලින් ගුවන් ධාවන පථය වැසී යෑම නිසා නවසීලන්තය විසින් එහි යැවූ ආධාර රැගත් ගුවන් යානා ගොඩබැස්සවීමට නොහැකි වී ඇතැයි ද පැවැසෙයි. ගිනි කඳු අළු මෙන්ම කඩා වැදුණු සුනාමි රළ හේතුවෙන් ද ජලය දූෂිත වීම නිසා ටොංගා දූපත් වැසියන්ට, පානීය ජලය සැපයීම දැඩි අවශ්‍යතාවක් පවතී.

(රොයිටර්)


RECOMMEND POSTS