හමුවන සැමට අතට අත දෙයි



අතට අත දීමෙන් වළකින ලෙසත් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නා ලෙසත් උපදෙස් දී තිබියදී ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී, සුවය ලැබ සිටින බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුට හමුවන සැමට අතට දී පිළිගන්නා බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘කොවිඞ් 19’ ආසාදනය වී සති කිහිපයක් අගමැති නිල නිවසේ නිරෝධායනයට ලක්වුණු අගමැති ජොන්සන් පසුව රෝහල්ගත කෙරුණි. දින දෙකක් ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබීමට පවා සිදුවිය.
‘කොවිඞ් 19’ වයිරසය පිටපිට යළි ආසාදනය වන බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. පුද්ගල දුරස්ථභාවය සැලකිල්ලට නොගෙන අගමැති ජොන්සන් අතට අත දෙන්නේ මෙවැනි අවදානම් තත්ත්වයක බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.

අගමැති ජොන්සන් ට පමණක් නොව, සහකාරිය කැරී සිමොන්ඞ්ස් ට ද වයිරසය ආසාදනය විය. ඒ වනවිට ඇය ගැබිනියක වූවාය. කෙසේ නමුත් ඇයට එයින් බලපෑමක් එල්ල නොවුණු අතර, පසුගිය දා ඇය නිරෝගී පුතකු බිහි කළාය.

‘කොවිඞ් 19’ ආසාදනය වී රෝහල්ගතව සිටිද්දී, අගමැති ජොන්සන්ගේ පිහිට පැමිණ ඇත්තේ නික් පි‍්‍රන්ස් සහ නික් හාට් යන වෛද්‍යවරුන් දෙදෙනාය. ඒ අනුව, ඔවුන්ට ගරු කිරීමක් ලෙස අලූත උපන් පුතුට නිකලස් යන නම තැබීමට අගමැති ජොන්සන් සහ සහකාරිය කැරී සිමොන්ඞ්ස් පියවර ගත් බව ද වාර්තා විය.
මේ වනවිට යුරෝපයේ වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වී ඇත්්තේත් මරණ වාර්තා වී ඇත්තේත් මහා බි‍්‍රතාන්‍යයෙනි. ඉතාලිය දෙවැනි ස්ථානයටත්, ස්පාඤ්ඤය තෙවැනි ස්ථානයටත් පත් වී ඇත.

මහා බි‍්‍රතාන්‍යයට පනවා ඇති ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට අගමැති ජොන්සන් ප‍්‍රමුඛ රජය සූදානම් වන්නේ එවැනි තත්ත්වයක් යටතේය. මහා බි‍්‍රතාන්‍ය පුරා පාසල් සහ අධ්‍යාපන ආයතන ප‍්‍රධානීන් තරයේ පවසා ඇත්තේ ‘කොවිඞ් 19’ උවදුර පහව යනතුරු තමන් පාසල් හෝ අධ්‍යාපන ආයතන විවෘත නොකරන බවය.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS