හමුදාව ඉවත් කරනවා - ට්රම්ප්
කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ්ගේ මරණින් පසු වොෂින්ටන් අගනුවර ඇවිලීගිය ප්රචණ්ඩකාරී විරෝධතා මර්දනයට කැඳවූ හමුදා සොල්දාදුවන් වොෂින්ටන් අගනුවරින් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් උපදෙස් දුන්නේය.
‘දැන් සියල්ල යථා තත්ත්වයට පත් වෙලා. නැෂනල් ගාඞ් (හමුදාව) නගරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි මා අණ දුන්නා’ යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති ට්රම්ප් පැවැසුවේය.
‘හමුදාව වොෂින්ටන් වීදිවලින් පිටවී යනවා. හැබැයි ආයෙත් විරෝධතා උත්සන්න වුවහොත්, ඔවුන් වහා පැමිණෙන්න සීරුවෙන් සිටිනවා’ යැයි ජනපති ට්රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ වැඩිදුරටත් පවසා තිබුණි.
පොලිස් අත්අඩංගුවේ සිටියදී ජෝජ් ෆ්ලොයිඞ් මියගියේ පසුගිය 25 වැනිදාය. ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලමින් ආරම්භ වුණු විරෝධතා වොෂින්ටන් අගනුවරට පැතිරුණේ, ජනපති ට්රම්ප් විරෝධතාකරුවන් ප්රකෝපකාරී වන අන්දමින් කළ ප්රකාශ හේතුවෙනි. වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයට ඉදිරිපිට ද ප්රචණ්ඩකාරී විරෝධතා හටගත්තේය. එක් අවස්ථාවක ජනපති ට්රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයක සැඟවී සිටි බව ද වාර්තා විය.
ජෝජ් ෆ්ලොයිඞ්ගේ අවමංගල කටයුතු මේ වනවිට අවසන් වී ඇති නමුත් තවමත් ඇමෙරිකාව පුරා නගරවල විරෝධතා දකින්න ලැබේ. ඇමෙරිකාවේ මෙසේ විරෝධතා පැවැත්වෙන්නේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය උත්සන්න වී ඇති අවස්ථාවකය.
වොෂින්ටනයේදීය (රොයිටර්)