සෞඛ්‍ය උපදෙස් අනුව නත්තල සමරන්න



නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් නත්තල සහ නව අවුරුදු උදාව සමරන ලෙසත්, යම්හෙයකින් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් බවත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය ඔස්ට්‍රේලියානු සමාජයේ ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. මාධ්‍යවේදීන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ නෙදර්ලන්ය මෙන් ඔමික්‍රෝන් විකෘතිය හමුවේ රට වසා දමනවා ද යනුවෙනි.

'රට වැසීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලයි සෞඛ්‍ය අංශ මට දැනුම් දුන්නේ. රටේ එන්නත්කරණ කටයුතු ඉතාමත් සාර්ථකව සිදුවෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නත්තලත් නව අවුරුදු උදාවත් සැමරීමට ජනතාවට අවසර ලැබෙනවා. වගකීමෙන් කටයුතු කිරීමයි කළ යුත්තේ. නෙදර්ලන්තය ඇතුළු සෙසු යුරෝපා රටවල මෙන් ඔමික්‍රෝන් නිසා දරුණු 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් ඇතිවේවි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. එසේ වුවහොත් ඊට මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ සීරුවෙන්. ඒ සඳහා අප සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්' යැයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පෙන්වා දුන්නේය.

'ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නෙදර්ලන්තය සති 4 ක් සඳහා ලොක්ඩවුන් කර තිබේ. 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය හේතුවෙන් රටක් ලොක්ඩවුන් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

නෙදර්ලන්ත රජය, රට සති 4 ක් ලොක්ඩවුන් කළේ එරට සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව නෙදර්ලන්ත වැසියන්ට සාමූහිකව එක් රොක් වී, නත්තල මෙන්ම නව අවුරුදු උදාව ද සැමරීමට නොහැකි වනු ඇත. රජය ගත් මෙම තීරණය නෙදර්ලන්ත වැසියන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය, 'ඩෙල්ටා' විකෘතියට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන බවත්, සෑම දින එකහමාරත් තුනත් අතර කාලයේ දී ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS