සොයුරිය සම්බන්ධයෙන් විමර්ශනයක්



උතුරු සහ දකුණු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් දෙරට දේශසීමාවේ පිහිටුවා තිබූ සබඳතා කාර්යාලය පුපුරුවා විනාශ කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව දකුණු කොරියානු රජය ඊයේ (17) පැවැසුවේය.

එම සබඳතා කාර්යාලය පිහිටුවා තිබුණේ කොනෙස්ග් දේශසීමා නගරයේය. කාර්යාලය පුපුරුවා විනාශ කළේ, පසුගිය ජූනි 16 වැනිදා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර හිතවත්කම් පළුදු වෙද්දීය. හිතවත්කම් පළුදු වෙද්දී දෙරට අතර යුද උණුසුමක් ද නිර්මාණය විය.

කෙසේ නමුත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූණ් ජේ ඉන්ගේ විශේෂ නියෝජිතයන් අතරේ පැවැති සාකච්ඡාවලින් පසු යුද උණුසුම පහව ගොස් දෙරට අතර සබඳතා යළි යථා තත්ත්වයට පත් විය.

සබඳතා කාර්යාලය පුපුරුවා හැරීම සිදුවී ඇත්තේ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සොයුරිය කිම් යෝ ජොන්ගේ අණ පරිදි යැයි පැවැසෙයි. කිම් යෝ ජොන්, නායක කිම් ජොන් උන්ගේ උපදේශිකාවක ද වෙයි. රටේ පාලන බලතල ද කිම් ජොන් උන් ඇයට පවරා දී තිබේ.

පසුගිය ජූනි 16, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ වැනිදා අර්බුදය හටගනිද්දී, කිම් යෝ ජොන් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ට අපහාස වන ආකාරයට දොස් කීවාය. මෙය දකුණු කොරියානුවන්ගේ විරෝධයට හේතුවක් වී ඇතැයි දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS